Language Switcher

V2025

සෝෆා - ඇක්සා ගිවිසුම වලට ගෝඨා පක්ෂයි : ඇමරිකානු පුරවැසි යුතුකම ඉටුකරයි !

රට අමෙරිකානු කොළණියක් බවට පත් කරන සෝෆා - ඇක්සා ගිවිසුම් වලට 'පොහොට්ටු' ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විරුද්ධ නොවන බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ හෙළි කළේය. 
ඒ එම මාධ්‍ය හමුවේදී එම ගිවිසුම් සම්බන්ධයෙන් වචනයක් හෝ ඊට  විරුද්ධව කීමට ගෝඨාභය රාජපක්ෂ පරෙස්සම් වීම හරහාය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ළග තබා ගෙන ගෝඨාභය රාජපක්ෂ පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී අද රට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන සෝෆා-ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රශ්නයක් ගෝඨාභය රාජපක්ෂගෙන් නොවිමසන ලෙස එම මාධ්‍ය හමුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ගෝඨාභය රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ ලෙකම්වරු සහ ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය විය.
 ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වුවහොත්, අනිවාර්යයෙන්ම එකී දේශද්‍රෝහී ගිවිසුම් වලට ගෝඨාභය රාජපක්ෂ එළඹෙන බව සක් සුදක් සේ මේ වන විට පැහැදිලි වී තිබේ.
පසුගිය දින කීපය පුරාම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා මගින් හෙළි කළේ ගෝඨාභය රාජපක්ෂ ගේ අමෙරිකානු පුරවැසිභාව ඉවත් කර ගැනීමට තමා ජනාධිපති වුවහොත්  සෝෆා - ඇක්සා ගිවිසුම් අත්සන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු ආණ්ඩුවට එකග වී ඇති බවයි. 
එම මාධ්‍ය මගින් වැඩිදුරටත් වාර්තා කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ගේ හිතවතියක වන, ජානකී සිරිවර්ධන නමැත්තියක මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් හමුවී ඇති බවත්, ඉවන්කා හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයා ද හමුවී ඇති ගෝඨාභය රාජපක්ෂ, තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර දුනහොත්, බලයට පැමිණි වහාම සෝෆා - ඇක්සා ගිවිසුම් අත්සන් කරන බවට එකග වූ බවත් ය. 
සෝෆා - ඇක්සා ගිවිසුම් සම්බන්ධ මෙම කරුණු කිසිවකට ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ කිසිවක් නොකීමට පරෙස්සම් වීමත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇසීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොදීමත් මගින් නිශ්චිත ලෙසම ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියහොත්, රට පාවාදෙන සෝෆා - ඇක්සා ගිවිසුම් අත්සන් කරන බව පැහැදිලි වන බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන් ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා සදහන් කර සිටින්නේ, ''මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට  SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහාය ද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණකි. 2007 මාර්තුවේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයා වීම සහ අමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක" යනුවෙනි.
ශවේන්ද්‍ර ගැන ගෝඨා නිහඬයි !
එසේම යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය විරෝධය පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ඉකුත්දා කටයුතු කළද, අමෙරිකානු නිවේදනයට විරුද්ධව වචනයක් හෝ නොකීමට ගෝඨාභය රාජපක්ෂ පරෙස්සම් විය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඉකුත් දින කීපය තුළ වැඩි අවධානයක් යොමු කර තිබූ අතර, ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට විරුද්ධව වචනයක් හෝ කතා නොකීමට වග බලා ගැනීම සම්බන්ධයෙන් ද කතා බහට ලක් වී තිබුණි. 
එසේම, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා ගේ පත්වීම ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම මගින්ද අමෙරිකාව සමග ඔහුගේ තිරය යට ගනු දෙනුවක් ඇති බව පෙනී යන්නේ යැයි දේශපාලන අංශ වල කතා බහට ලක් වී තිබේ.
කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂ ගේ අමෙරිකානු හිතවාදී බව සම්බන්ධයෙන් ඔහුට සහාය පළ කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ මහාචාර්ය නලින් ද සිල්වා කුමන ස්ථාවරයක් ගනු ඇත්ද යන්න ඉදිරියේදී ප්‍රදර්ශනය වනු ඇත.