Language Switcher

V2025

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අගෝස්තු 24 - 25 දඹුල්ලේ දී !

ව්‍යවසායකත්වය සඳහා පොලී සහන ණය ලබා දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දෙවන ජංගම සේවය අගෝස්තු 24 හා 25 දෙදිනයන් හී දඹුල්ල පැල්වෙහෙර කෘෂිකාර්මික විද්‍යාල භූමියේදී පැවැත්වේ.

පෙ.ව.7.30 සිට ප.ව.5.00දක්වා පැවැත්වෙන මෙම ජංගම සේවයේ ආරම්භක අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වනු ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද 2019 අය වැය මගින් හඳුන්වා දී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම කඩිනම් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහක් ලෙස මුදල් අමාත්‍යාංශය විසින් මෙම ජංගම සේවය සංවිධානය කරනු ලබයි.

ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්, කර්මාන්තයක්,ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකත්ව අරමුණු වලින් යුත් තරුණ ප්‍රජාවට සහනදායි පොලි අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබාදීම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

දඹුල්ලේ පැවැත්වෙන මෙම ජංගම සේවය මගින් ව්‍යාපාර හෝ කර්මාන්ත,කෘෂිකර්මාන්ත කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට බැංකු මගින් ප්‍රාග්ධන මුදල් ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබා ගත හැකිය.

බැංකු මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපාර යෝජනා සකස් කර ගැනීම සදහා උපදෙස් ලබා ගෙන එදිනම එම ව්‍යාපාර සඳහා බැංකු වෙත තම යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමේ වැඩසටහනක්ද විශ්ව විද්‍යාල විද්‍යාර්තීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එබැවින් ණය අපේක්ෂා කරන පුද්ගලයින් තම ව්‍යාපාර පිළිබද මූලික තොරතුරු ද රැගෙන පැමිණෙන ලෙස සංවිධාන මණ්ඩලය ඉල්ලා සිටී.

ලංකා බැංකුව,මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුලු රාජ්‍ය බැංකුවල ජංගම කාර්යාලයන් මෙම ස්ථානයේදී පැවැත්වෙන අතර, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ අවශ්‍ය අනුමැතිය,බලපත්‍ර සහ තාක්ෂණ උපදෙස් ලබා දෙන රාජ්‍ය ආයතන වල නියෝජිත කාර්යාල ද මෙහිදී පිහිටුවනු ලැබේ.

සංචාරක ක්ෂේත්‍රය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමට අදාළව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක්ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක වේ.

කෘෂිකාර්මික ප්‍රදේශයක් වන දඹුල්ල ප්‍රදේශය සංචාරක ආකර්ෂණයට ද ප්‍රචලිත හෙයින් සංචාරක සත්කාරක සේවා ඇරඹීමට අවශ්‍ය සහාය හා අනුමැතිය සංචාරක සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගෙන තම ව්‍යාපාර කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට මෙම ජංගම සේවය මහඟු අවස්ථාවක් වනු ඇත.