ස්මාර්ට් ලෝකයේ බොරු පුවත්වලට වගේම වාරණයටත් ඉඩක් නෑ - ඇමති මංගල

ස්මාර්ට් ලෝකයේ බොරු පුවත්වලට වගේම වාරණයටත් ඉඩක් නෑ - ඇමති මංගල

සාම්ප්‍රදායික ජනමාධ්‍යවේදියා ජනතා විශ්වාසය අහිමිකරගෙන සිටින බවත් ස්මාර්ට් දුරකතන අත දරන සියළු දෙනා වාර්තාකරුවන්වී සිටින බවත් ඒ හමුවේ වාරණය හෝ නීති මඟින් මාධ්‍ය පාලනය කිරීම අවලංගු වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි.

එම වැඩමුළුව අද (19) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘2017 අවුරුද්දෙ අමෙරිකාවෙ සමීක්ෂණයක් කළා වෘත්තීන්වල විශ්වසනීයභාවය ගැන. ඒ ලැයිස්තුවේ අවසන් ම ස්ථාන හිමි වෙලා තිබුණෙ මාධ්‍යවේදීන්ට සහ දේශපාලඥයන්ටයි. ඒ කියන්නෙ අපි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. දේශපාලනඥයාට එහෙම වුණේ ඇයි කියන කාරණාව මම කියන්න යන්නෙ නෑ.

අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය නැති වෙමින් තිබෙනවා. ඒකට හේතුව තමයි පදනමක් නැති වාර්තාකරණය. ඉස්සර පුවත්පත්වල කුමන වාර්තා පළ කළත් ඒකට පදනමක් තිබුණ. දැන් එහෙම නෙවෙයි, මාධ්‍යවේදියාගේ, විවිධ පුද්ගලයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වුවමනාවට පුවත් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නවීන සමාජය තුළ මේ බොරු පුවත්වලට ඉස්සරහට යන්න බෑ. ඒව ඔප්පු වෙනවා. ඒ එක්කම ජනමාධ්‍ය පිළිබද තියෙන විශ්වාසය නැති වෙලා යනවා. අද හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ හැම කෙනෙක් ම වාර්තාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වාරණය කියන දේ අදට වලංගු නෑ.

ප්‍රංශයේ නව ආණ්ඩුව කතාබහක් ඇති කරගෙන යනවා මේ බොරු පුවත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන. ඒ කියන්නෙ එහෙම කතාබහක් ලෝකය තුළ ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න වාරණය සහ නීතිවලින් පමණක් බැහැ. අපි කළ යුත්තේ ගෝත්‍රික අදහස් බැහැර කළ නව පරපුරක් නිර්මාණය කිරීමයි.

ගූගල් සමාගම කියනවා සෙක්ස් කියන වචනය වැඩිම සර්ච් කරන්නෙ ශ්‍රී ලංකාවෙන් කියල. නිල් චිත්‍රපට වෙබ් අඩවි බලන වැඩි ම පිරිස අද ඉන්නෙ මැදපෙරදිග රටවල. තහංචි දාගෙන හිරකරගෙන ඉන්න තරමට මේ වගේ දේවල්වලට පෙළඹෙන එක වැඩි වෙනවා. විවෘත සමාජවල මේ තත්ත්වයන් නැහැ. ඒ නිසා ගුරුවරුන් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා දරුවන් මේ සදහා පෙළගැස්වීම සිදු කිරීමට."

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්ධුල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න