මේක ගෝත්‍රික තීරණයක් : නමුත් කැබිනට් සාමුහිඛත්වයට ගරු කරනවා - ඇමති මංගල

මේක ගෝත්‍රික තීරණයක් : නමුත් කැබිනට් සාමුහිඛත්වයට ගරු කරනවා - ඇමති මංගල

ගෝත්‍රික තීරණයක් වන නමුත් කැබිනට් මණ්ඩල සාමුහිඛත්වයට ගරු කිරීමක් ලෙස මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව රැකියා කිරීම සහ මත්පැන් මිලදී ගැනීම සම්බන්ධව පැවති තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර ඇත්තේ ඊයේ (16) පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී අදාළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය එළඹී එකඟතාව සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.

වර්තා වන අන්දමට මෙම අමාත්‍යමණ්ඩල හමුවේදී මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක සම්බන්ධව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක සහ දයාසිරි ජයසේකර විසින් දැඩිව විවේචනය කර ඇත. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ මේ හරහා යහපාලන ආණ්ඩුව ආරම්භ කළ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන කඩාකප්පල් වන බවත් එසේම එය රටේ සංස්කෘතියටද නොගැළපෙන බව ඔවුන් දැඩිව කියා ඇත.

එහිදී වැඩිදුරටත් ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර දැඩිව සඳහන් කර ඇත්තේ කාන්තාවන් සම්බන්ධව පැවති යල්පැනගිය නීති සංශෝධනය කිරීමට අදාළව එම ගැසට් නිවේදන නිකුත් කටයුතු කළේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවත් ඒ හැර බීමත්කම ප්‍රවර්ධනය කිරීමක් ඒ හරහා තමන් අරමුණු නොකළ බවත්ය.

හෙළ උරුමයේ ඉන්නේ කන්නේ බොන්නේ නැති මිනිස්සුද - දීප්ති

මේ අතර පසුගියදා newstube.lk වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සඳහන් කර සිටියේ මත්පැන් ආදී ප්‍රශ්න දිහා සදාචාරාත්මක දෘෂ්ටියකින් බලන අසනීපය ලංකාවට ගෙන ඒමට කටයුතු කළේ නවසිය අනූගණන්වල අගදි ජාතික හෙළ උරුමය විසින් බවත් ඒ හමුවේ ජාතික හෙළ උරුමය කියන්නෙ කන්නෙ බොන්නෙ නැති අය ඉන්න තැනක්ද යන ප්‍රශ්නය මතුවන බවත්ය.

එසේම ජාතික හෙළ උරුමයේ පිරිස් හොඳට කන බොන අතරේ ගම්වල සිටින ජනතාව මෝඩයින් බව සිතා මෙවැනි දේවල් වෙනුවෙන් පෙනී සිටින බවත් 21වන සියවසේ තව ටික කාලයක් යද්දි අලුත් පාලකයන් බිහිවීමත් සමඟ මෙවැනි අදහස් නැතිවී යනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.

2017-2021 මානව හිමිකම් ජාතික ක්‍රියාකාරී සැළැස්ම විහිළුවක්ද ?

මේ අතර අප හා අදහස් දැක්වූ සිවිල් සමාජ දේශපාලන සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම පෙන්වා දුන්නේ අදාළ සිදුවීම හරහා වත්මන් ආණ්ඩුවේ ඇති පරස්පරතා රැසක් එලියට පැමිණි බවය. ඒ බව තහවුරු කරමින් නිදර්ශන රැසක් පෙන්වාදීමට ඔවුන් කටයුතු කළ අතර එහිදී විශේෂයෙන් දක්වා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ "2017- 2021 මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම" ය.

එම ප්‍රකාශනයේ 3 වන පරිච්ඡේදයේ පිටු 39 සිට 65 දක්වා කාන්තා ප්‍රශ්න පිළිබඳව සඳහන් වන බවත් 'පෞද්ගලික අංශයේ සේවා ස්ථාන ඇතුළුව සියලුම සේවා ස්ථානයන්හී ස්ත්‍රී පුරුෂභාවය,ජාතිය, ලිංග භේද අනන්‍යතාවය ඇතුළුව තහනමට ලක්වන පදනම මත වෙනස් ලෙස නොසැලකීම සඳහා අයිතිය සහතික කිරීමට නීති පැනවීම" සිදුකරන බවට පොරොන්දුවී ඇති නමුත් අවසානයේ සමස්ත කැබිනට් මණ්ඩලයම තමන් විසින් ලබාදුන් ප්‍රතිපත්තියට විරුද්ධව වැඩකර ඇති බව පැහැදිලි වන බවද ඔවුන් සඳහන් කරයි.

ජනාධිපතිට අමතකද ?

එසේම ඊට පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා "ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සමාජයේ දුර්වලම කොටස්ද ඇතුළුව සියළු ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවට හා ප්‍රවර්ධනයට රජය විසින් ගනුලැබූ තවත් එක් සාධනීය පියවරක් බව මාගේ විශ්වාසයයි.මෙම සැලසුම සකස් කිරීමටත්, ඉදිරි පස් අවුරුද්ද තුලදී එයා සාර්ථකව ක්‍රියාවට නංවන බවට පොරොන්දුවී ඇතත් වැඩ කිරීමේදී ඔහුටද ඒ පොරොන්දු අමතකවීම ගැටලුසහගත බවද පෙවුන් පෙන්වා දෙයි.

අගමැතිටත් අමතක වෙලා !

තවද 2017- 2021 මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා තම පණිවිඩය එකතු කළ අවස්ථාවේ"සැළසුමේ පූර්ණ සාර්ථකත්වය ළඟාකර ගැනීම සඳහා රාජ්‍ය ආයතන සහ රේඛීය අමාත්‍යංශ විසින් නියමිත වේලාවට හා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියළු පියවර ගතයුතු බවට සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එවැනි පියවරක් ගැනීමට රේඛීය අමාත්‍යාංශයක් කටයුතු කළ අවස්ථාවේ ඊට අවශ්‍ය සහයෝගය දක්වුයේද යන ප්‍රශ්නය තමන්ට පවතින බවද ඔවුන් සඳහන් කර සිටියි.

වචන විතරයි - වැඩ නෑ

එසේම මෙවැනි කටයුතු හරහා ආණ්ඩුව කට වචනයෙන් සහ ලිඛිත පොරොන්දු විශාල ප්‍රමාණයක් ලබාදුන්නත් ඒ කිසිවක් ප්‍රයෝගිකව සිදුකිරීමට අසමත් බව සහ අවශ්‍ය වුවමනාවෙන් යුතුව කටයුතු නොකරන බව තහවුරුවූ බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න