Language Switcher

V2025

පිටි කිරි නිසා :රාජිත - සිරිසේන ඇවිලෙයි !

සෞඛ්‍ය ඇමති රාජිත නොව කවුරුන් කෙසේ කීවද පිටරටින් ආනයනය කරන කිරිපිටි සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නොමැති බව ජනපති සිරිසේන පවසයි.

දෙහිඅත්තකණ්ඩියේදී පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී සිරිසේන ජනාධිපති මෙසේද පවසා ඇත.

“රටක් දියුණු වෙන්න දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වෙන්න ඕන.රටේ කිරි නිෂ්පාදනයදියුණු වුණොත් තමයි දේශීය කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය වෙන්නේ. මහ බහුජාතික සමාගම්වලින්, දැන් මේවා කිව්වාම ඒ අයත් මාත් එකක් තරහා වෙනවා. මත්ද්‍රව්‍ය කාරයෝ, අරක්කුකාරයෝ, සිගරට්කාරයෝ බෙහෙත් ජාවාරම්කාරයේමේ කවුරු තරහා වුණත් කරිපිටි ගැනත් මට නොකියාම බෑ. සෞඛ්‍ය සම්පන්න ජතාවකට අවශ්‍යවන්නේ තමන්ගේ ගමේ කිරි. අපි කිරිපිට කම්පැණිකාරයන්ට යට වෙලා, කිරිපිටි කම්පැනිකාරයන්ට ඕන විදිහට මේ රට හසුරවන්න. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරවන්න දෙනවනම් ඒක ඉතාමත්ම වැරදියි.ලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්.”

“මේක ඉතාමත්ම අවාසනාවන්තයි. මම දැක්කා පසුගිය දවස්වල කිරි පිළිබඳව සංවාදයක් යනවා දේශපාලන ක්ෂේත්‍රයේ. කතානායකතුමත් පාර්ලිමේන්තුවේ කියලා තිබුණා කලබල වෙන්න එපා පාර්ලිමේන්තුවේ දෙන්නේ දියර කිරි කියලා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමත් කියලා තිබුණා පිටිවල නිවැරදිභාවය පිළිබඳව. මම නම් සෞඛ්‍ය ඇමතිලෙස අවුරුදු පහක් හිටියා. කිරිපිටි සමාගම්කාරයින්ට මගේ ගෙදර ගේට්ටුවෙන් එළියට එන්න දුන්නේ නෑ. අමාත්‍යාංශයට ඇතුළුවෙන්න දුන්නේ නෑ. ඒක තමයි එදා මගේ ප්‍රතිපත්තිය. මම අදත් ඉන්නේ ඒ ප්‍රතිපත්තියේ. මේ පිටරටින් ගේන කිරි කවුරු කිව්වත් ඒවා සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නෑ.”

කියවන්නේ නැතුව වැඩ කරලා පෙන්වන්න - රාජිත

කෙසේ වුවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරන්නේ කිරි පිටි ගැන කතා කියමින් සිටීම අනවශ්‍ය බවත් සටන් පාඨ දේශපාලනය නැතිව අවශ්‍යතාවක් ඇත්නම් ලංකාවට කිරි පිටි ආනයනය තහනම් කල හකි බවය.

ඉතිහාසයේ පටන් තිබුණේ තීන්දු ගැනීම වෙනුවට කතා සහ සටන් පාඨ කියමින් සිටීම පමණක් බවත් විද්‍යාවට යටත්ව දේශපාලනය කරන තමන් දෙයක් කියන්නේ කරන්නේද ඒ අනුව බවය. කිරි පිටි වෙනුවට මව් කිරි අවශ්‍ය බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට යෝජනාව කළේ තමන් බවද ඔහු පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව කිරි පිටි වල ඌරු මේද හෝ වෙනත් දෑ නොමැති බව සඳහන් කර ඇති බවත් ලංකාවට ආනයනය කරන කිරි පිටි ගැනද කිසිඳු වාර්තාවක එවැන්නක් නොමැති බවය. පිටි කිරි වෙනුවට දියර එළකිරි දිය හකි නම් තමන් එය සෘජුවම අනුමත කරන බවය.

එසේම ලංකාවේ දියර කිරි නිෂ්පාදනය පරිභෝජන අවශ්‍යතාවයෙන් 10%ක් පමණක් බවත් පිටි කිරි තහනම් කරනවා නම් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරලීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා පවසයි.

විපක්ෂයේ සිටිමින් කතා කියවමින් සිටියත් ආණ්ඩුවේ සිටියදී වැදගත් වන්නේ තැන තැන කතා කියමින් සිටීම නොව වැඩ කිරීම බවත් බලය ලැබී ඇත්තේ ඒ සඳහා බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

එසේම දුම්වැටි ගැන කතා කියන උදවියට දුම්කොළ සඳහා 1005ක බද්දක් ගැසීමට කොන්දක් නොතිබූ බවත් එම කටයුත්ත සිදුකළේද තමන් බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.