Image

කළ කළ දේ පල පල දේ...

කළ කළ දේ පල පල දේ...

"සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ" කියලා පල්ලේගම හේමරතන හාමුදුරුවෝ 'අතීතය සිහිනයක් පමණය' කියන සිංදුවේ ලියලා තියෙනවා. ඇත්තටම සොබා දහමට අවනත නොවන කවුරුත් නෑ වගේම තමයි නීතියට ඉහළිනුත් කවුරුත් ඉන්න බෑ. නීතිය හැමෝට ම සර්ව සාධාරණ වෙන්න ඔ්නා. හැබැයි අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු දැක්වුවේ අටමස්ථානාධිපති පල්ගේගම හේමරතන හිමියන් ළමා අපයෝජනයක් ගැන අත්අඩංගුවට ගන්න සාක්කි තියෙද්දිත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම පමා කරනවා කියලයි.

කිසිම මනුස්සයෙක් හුදු සැකයක් මත පමණක් අත්අඩංගුවට නොගත යුතුයි. ඒක මේ හාමුදුරුවොන්ටත් පොදුයි. හැබැයි සාක්කි තිබියදීත් අත්අඩංගුවට නොගන්නවා කියන්ගේ ඒක බරපතළ ගැටලුවක්. ඒකෙන් පෙන්වන්නේ ධනය, බලය මත අත්අඩංගුවට ගැනීම සහ නොගැනීම තීරණය වෙනවා කියන එක.

අටමස්ථානාධිපති කියන්නේ අපේ රටේ ප්‍රධාන තනතුරක්. ඒ තනතුරට ලොකු බලයක් තියනවා. රටේ රාජ්‍ය නායකයෝ පවා අටමස්ථානාධිපති ගේ දෙපා මුලට යනවා. ඒවගේ බලවත් කෙනෙක් ළඟට සාක්කි තිබිය දී පොලිසිය ළං වෙන්න බය වෙනවා නම් ඒක ඉතාම බරපතළයි. හාමදුරුවොම ලිව්ව විදිහට 'සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ' වගේම තමයි රටේ කිසිම කෙනෙක් නීතියට ඉහළින් ඉන්න බෑ.

අවුරුදු 15ක දැරිය අපයෝජනය කළ අවුරුදු 18 සාමාන්‍ය කොල්ලෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නේ යම්සේ ද බලවත් තැනැත්තකුට හෝ බලවත් ස්වාමීන්වහන්සේ කෙනෙකුට අදාළවත් සාක්කි තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

අද ළමා ආරක්ෂණ අධිකාරිය කරුණු දැක්වීම නොකළා නම් සමහරවිට ස්වාමීන්වහන්සේට නීතිය ක්‍රියාත්මක නොවෙන්නත් ඉඩ තිබුණා. අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්න නියෝග වූ පමණින්මත් ඔහු වැරදිකරුවකු වෙන්නේ නෑ. මේ සැකය අධිකරණයේ දී ඔප්පු කළ යුතුයි. එතනදි විමර්ශන නිලධාරීන්ට සහ නඩු මෙහෙයවන්නන්ටත් ලොකු කාර්ය භාරයක් තියනවා. ඇත්ත අපයෝජකයකු වුණත් විමර්ශන හරියට නොකිරීමෙන් නිදහස් වෙන්න පුළුවන්.

මෙවැනි තනතුරක් දරමින් මේවගේ බරපතළ අපරාධයක් කරලා නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතන වාතාවරණයක් සහ එවැනි තනතුරක් දරන කෙනෙක් මෙවැනි අපරාධයක් කළහම ඔහු ළඟට ළං වෙන්න පොලිසිය බිය දනවනවා නම් ඒක ඉතාම බරපතළයි.

ඉතින් අටමස්ථානාධිපති හිමි විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන හැටි බලාගෙන ඉම්මු. මේ තියෙන්නේ ඒ් ගැන කළ වීඩියෝවක්. අද නඩුව ගැනත්, සිද්ධිය ගැනත් දැනගන්න බලන්න පුලුවන්.

අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට ගන්න නියෝග - රටින් පිටවීමත් තහනම් | THARINDU JAYAWARDHANA | MediaLK

තරිඳු ජයවර්ධන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න