Image

කළු මාධ්‍යට සුදු වෙන්න කාලය ඇවිල්ලා - තලතා

කළු මාධ්‍යට සුදු වෙන්න කාලය ඇවිල්ලා - තලතා
කළු මාධ්‍යට සුදු වෙන්න දැන් කාලය පැමිණ තිබෙන බවත්, ව්‍යවස්ථාව මේ රටේ ප්‍රධානතම නීතිය බවත් අනුව කටයුතු කරන්නට ජනාධිපතිටත් සිද්ධ වෙන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ පැවැසුවාය.
 
තලතා අතුකෝරළ මේ අදහස් පළ කළේ පසුගියදා  සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබුබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
 
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
 
ප්‍රශ්නය -රාජිත ඇමතිතුමා ප්‍රකාශ කරලා තිබුණා ඒක මාධ්‍යවලින් වාර්තා කළා ඉතිරි අධිකරණ දෙකත් ඉක්මනින්ම ආරම්භ කරන්න කටයුතු කරන්න කියලා කවදා විතර වෙයි ද ?
 
පිළිතුර -දින වකවානු කියන්න බැහැ .පාර්ලිමේන්තුවේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරලා විශේෂ අධිකරණ තුනක් පිහිටුවීම සදහා පනත සම්මත කරලා තියෙන්නේ .ඒ සදහා පුංචි ගැටළුවක් තියෙනවා අළුත්කඩේ ඉඩකඩ පහසුකම් ගැන ගැටළුවක් තියෙනවා.නැත්නම් දෙවැනි අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කරලා තියෙන්නේ.
 
ප්‍රශ්නය -ඇමතිතුමියනි, ඇමතිවරු ප්‍රමාණය කීයද 30 32 ද ජනාධිපතිතුමා ඒකට විරුද්ධත්වය දක්වයි ද ?
 
පිළිතුර-ජනාධිපතිතුමාට විරුද්ධ තාවයක් දක්වන්න පුළුවන්.ඒත් මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒක රටේ ප්‍රධානතම නීතිය.ඒ අනුව එතුමාට කටයුතු කරන්න සිද්ධ වෙනවා.
 
ප්‍රශ්නය -ඒ වගේ ම ඇමතිකමක් අවශ්‍යම ද ජනතාවට සේවය කරන්න ?
 
පිළිතුර -රටේ තියෙන දේශපාලන සංස්කෘතිය අනුව ඇමතිකමක් අවශ්‍යයි.
 
ප්‍රශ්නය -අමාත්‍යධුර ලබා ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ අයම අවලා ද නගලා තිබුණා ඔවුන්ට ලැබුණු අමාත්‍ය ධූර සම්බන්ධව.
 
පිළිතුර -නැහැ එහෙම ගැටළුවක් නැහැ. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාට ඒ තිබුණු අමාත්‍යාංශයම ලැබුණා.මටත් ඒකම ලැබුණා .එහෙම ගැටළුවක් නැහැ.දුන්නොත් ගන්නවා මාධ්‍ය හරහා නොයෙකුත් දේවල් උලුප්පලා පෙන්නනවා.අපි දන්නවනේ දැන් කාලය ඇවිල්ලා තියෙනවා කළු මාධ්‍යට සුදු වෙන්න.
 
ප්‍රශ්නය-අපේ මහානායක හාමුදුරුවෝත් කිවුවා කළු මාධ්‍ය සුදු කරන්න ඕන කියලා .මොන වගේ වැඩ පිළිවෙළක් ඔබතුමියලා ක්‍රියාත්මක කරයි ද ?
 
පිළිතුර-ඒක මම හිතන්නේ මාධ්‍ය ඇමතිතුමා වගකීමක් ඇතිව කරයි.
 
ප්‍රශ්නය-ගරු ඇමතිතුමියනි, පාක්ෂිකයෝ කළ කිරිලා තමයි පසුගිය කාලයේ හිටියේ .ඔබතුමිය ඇතුළු බොහෝ ඇමතිවරුන් පාක්ෂිකයින් වෙනුවෙන් කථා කළා.මේ සැරේවත් පාක්ෂිකයාට යහපත් දෙයක් වෙයි ද ?
 
පිළිතුර -අපි පාක්ෂිකයින්ට උපරිම දේවල් කරන්න උත්සාහ කළා.කොටින්ම කියනවා නම් අවුරුදු 20 ක් සමෘද්ධිය ලබපු උදවිය දැන් අවුරුදු 25 ක් සමෘද්ධිය ලබනවා.ඒක දේශපාලනීකරණය වෙලා .අපේ පාක්ෂිකයෙකුට සමෘද්ධියවත් හදලා දෙන්න බැරි වුණා.දේශපාලන පළිගැනීම්වලට ලක් වු අයට සහන දෙන්න බැරිවුණා.ඒ හැම එකක්ම සිද්ධ වෙච්ච දේ පාක්ෂිකයෝ විතරක් නෙමෙයි මධ්‍යස්ථ ජනතාව අද කල්පනා කරනවා .විශේෂයෙන් මේ රටේ වැදගත් උගත් ජනතාව අද කල්පනා කරලා තියෙනවා.මේ අවුරුදු 3 ක් මොකද අපි කලේ කියලා.ඒ නිසා ගැටළුවක් නැහැ අපිට.
 
ප්‍රශ්නය -ඇමතිතුමියනි ,ජනාධිපතිවරණයට තව තියෙන්නේ අවුරුද්දකටත් අඩු කාලයක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා ද ?
 
පිළිතුර -ඒක ඉතිං ඒ වෙලාවට තීරණය කරන එකක්නේ.
 
ප්‍රශ්නය -ඇමතිතුමියනි, ඇමති තනතුරු බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සේවය කිරීමට නොවෙයි වර ප්‍රසාද භුක්ති විදින්ඩ කියලා කියනවා.ඒ නිසා ඇමති තනතුරු පස්සේ යන්න උත්සාහ කරනවා කියලා කියනවා.
 
පිළිතුර -නැහැ .එහෙම එකක් නැහැ මම කිවුවානේ මේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය තුළ ඇමතිවරයෙක් නොවුනොත් ටිකක් වැඩ කිරීමේ අපහසුතාවයක් තියෙනවා.ඇත්තටම කියනවා නම් සමහර වෙලාවට සාමාන්‍ය මන්ත්‍රිවරුන් හැටියට පාර්ලිමේන්තුවට පත් වෙන අයට නොයෙකුත් අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා ඒ අයගේ පාක්ෂිකයින්ට වැඩ කරන්න ගියාම.ඇමතිවරයෙක් හැටියට පත් වුණාම ඒ ඇමතිවරයාට අයත් අමාත්‍යාංශය වගේම අනෙක් ඇමතිවරුන්ගේ සහයෝගය අර ගෙන විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්.විශේෂයෙන්ම අවශ්‍ය සැළසුම් හදන්න මුදල් අමාත්‍යතුමා තමයි මුදල් ඇමතිවෙලා ආර්ථිකය හදන්න පටන් ගන්නේ .මාධ්‍ය ඇමතිතුමා තමයි ඔය කළු මාධ්‍ය සුදු කරන්න ඕන .අධිකරණය මම තමයි ස්වාධීනත්වය ඇති කරන්න ඕන.
 
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන ,පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න