Image

ලාල් ගෙ ගේ ලොකු ද...?

ලාල් ගෙ ගේ ලොකු ද...?

"ගෙයක්" කියන ශබ්දය කටින් පිට කරාම ඒක ඇහෙන කෙනාගෙ ඔළුවෙ මැවෙනව ගෙයක රූපයක්. 

ධම්මික පෙරේරා ගෙ ඔලුවෙ ඇතුළෙ මැවෙන ගෙය සහ අපේ හේන් ගොයිය තලගොයි සුමණෙගෙ ඔළුවෙ ඇතුළෙ මැවෙන ගෙයයි එකක් නෙවේ දෙකක්. ශබ්දය එකක් වුනාට හිත ඇතුළෙ මැවෙන රූප වෙනස්. ඒ වෙනස තීරණය වෙනව එකිනෙකා ගෙ සමාජ ආර්ථික මට්ටම් එක්ක. සමාජයේ මූලික ඒකකය වෙන පවුල ඉන්නෙ ගෙවල් ඇතුළෙ. ගෙයක් මිනිස් ජීවිතයකට වගේම මිනිහෙකු ගෙ සිතීමට බලපානවා. ගෙයක් නැති මිනිහෙක් කියන්නෙ එක්තරා විදියක සමාජ ඛේදවාචයක්. ඒක මූලික මිනිස් අවශ්‍යතාවක්. ගෙයක් මොකට ද මිනිස්සුන්ට...?

ඇත්තට ම මිනිස්සුන්ට ගෙයක් මොකට ද...?

මානව ශිශ්ටාචාරයේ ප්‍රාථමික අවධියේ මිනිස්සු තමන්ගෙ විරුද්ධ ලිංගිකය සමග ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදුණ; තමන්ට ඕන ඕන වෙලාවට. හරියට සත්තු වගේ. මේකත් එක්ක විශාල ගැටුම් ඇති වුණා. ගෑණුන්ට පිරිමි මරාගත්ත. ඒව යුද බවට පත් වුණා. අතන මෙතන සත්තු වගේ ලිංගික සංසර්ගයේ යෙදෙනකොට සමහර මිනිස්සු ගල් ගහන්න ගත්තා. නිදහසේ සංසර්ගයේ යෙදෙන්න ඕන නිසා මිනිස්සු වෙනම තමන්ට කියල භූමියක් වෙන් කර ගත්තා. ආවරනයක් ගෙයක්  වුණා. සමූහය තුළ පුද්ගලික ඉසව් නිර්මාණය වුණා. කොයි කවුරුත්: වෙහෙස මහන්සි වෙලා, අම්බ කට්ටක් කාල, හොඳ ජොබ් කරල, සල්ලි හම්බ කරල, ඉඩං අරං ගෙවල් හදාගන්නෙ නිදහසේ කෙළින්න. ඔන්න ඉතින් හම්බවෙනව දරුවො. රාගයෙන් ආදරය උපදිනව. කුටුම්බය හරියකට නිර්මාණය වෙන්න ගෙයක් හරියකට බලපානවා. නිදහසේ කෙළිනවට අමතරව අව්වෙන් වැස්සෙන් බේරෙන්නත් ගෙවල් මිනිස්සුන්ට උදවු වුණා.

house

ලාල් සතුටින් නම්...

අනූව දශකයේ අග බාගයේ ඉඳල තවමත් ගලා එන කතිකාවක් තමයි ගම්වල ඉන්න ගොඩයො නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන, විභාග පාස් වෙලා, කැම්පස් ඇවිත්, උපාධිත් අරං, හොඳ රස්සාවකුත් කරං, කොළඹින් ඉඩං අරං, මහා විසාල තාප්ප හදං, තඩි ගෙවල් හදං, සුදු ගෑනු අරං කොළඹ බින්න බැස්ස විතරක් නෙවේ රජයේ අමාත්‍යංශවල ඉහළ පුටුවල ඉඳගෙන මේ රටේ පහළ වෙච්ච දේශපාලකයන්ට අහු නොවෙන්න හොරකම් කරන්න කියලත් දුන්න කියන කාරණාව. මම තදින් විශ්වාස කරනව නූගත් ගැමි මෝඩයෙක් කරන කපටිකමකට වඩා සූක්ෂ්මයි උගතෙක් කරන කපටිකමක්. මෙන්න මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්ත රාජ්‍ය නිලධාරියා මේ දේශපාලනයේ ම ගොදුරක් වෙලා, රට තක්කඩි බවට නිර්මාණය වුණා .මේ හැමෝම තඩි ගෙවල් හැදුව. මේ තඩි ගෙවල් මිනිස්සුන්ගෙ හීනමාන ගැටලු බවට පත් වුණා. සමහරු ලොකු ලෝන් දාල මහ තඩි ගෙවල් එයාල පැන්ෂන් යනකම්මත් හදනවා. ගේ  හැදිල ඉවරවෙනකොට  වයසයි.

ඉතිං ලාල් දැන් ඔයාට ගෙයක් තියෙනව. දැන් ඔයාට වයස අවුරුදු 62 ක්. අනේ ඉතිං දැං ඔයාට ඔයාගෙ ම කියල ගෙයක් තියෙනව කොළඹින්. මට නම් හරිම සතුටුයි. ලාලුත් සතුටෙන් නේද...? ලාල් ඇත්තට ම සතුටෙන් නම් මටත් හරි සතුටුයි . 

ලාල්කාන්ත ගෙ නව නිවසලාල්කාන්ත ගෙ නව නිවස

කරන්දෙණිය හදපු ගුණරත්න වීරකෝන්

මට මතක් වෙනව ලාල් කතාවක්. ඒත් ගෙයක කතාවක්. ඔයා මෙයා ගැන දන්නව. මිනිහ ඇවිල්ල ගුණරත්න වීරකෝන්. මිනිහ 71 කැරැල්ලෙ ප්රබල සාමාජිකයෙක්. ඔය විජේවීර කරන්දෙණියෙ ධර්මදාස ජයසිංහල ගෙ ගෙදර ඇල්පිටි සාකච්ඡාව කරන වෙලේ ලොකු වැඩ ටිකක් කරා. ඌරගහ හිපංකන්දෙ නා ගස් ගොඩැල්ලෙ ඉතාම දුප්පත් පවුලක ඉපදිල හිපංකන්දෙ පොඩි ඉස්කෝලෙන් විභාගෙ පාස් වෙලා කරන්දෙණියෙ මහ විද්‍යාලයට පයිං බඩගින්නෙ ආපු ඉතිහාසයක් තියෙන අන්ත දුක් විඳල ඉගන ගත්ත කෙනෙක්. විද්‍යෝදයෙන් භූගෝල විද්‍යාවට විශේශ උපාධියක්. ජීවිතේ යාංතම් බේරගෙන හිරේ ලැගල එළියට ඇවිත් ආපහු පක්ෂෙ වැඩ කරා.

හැබැයි 88/89 කාලෙ බැහැල වැඩ කරේ නෑ. පස්සෙ ශ්රී ලංකා නිදහස් පක්ෂෙට සෙට් වුණා. කොටින්ම මහින්දගෙ තංගල්ලෙ කාල්ටන් ගෙදර නැවතිලා බෙලි අත්තෙ ඉස්කෝලෙට ගියේ. ඔය මහින්ද දෙවන වර ජනාධිපතිවරණයෙ දි තංගල්ලට වඩා කරන්දෙණියෙන් මහින්දට අරං දුන්න. මෙයා අන්තිමට උතුරු නැගෙනගිර නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ඇමැති වෙලා හිටිය. කරුණා අම්මාන් තමයි නියෝජ්ය ඇමැති. ගුණරත්න වීරකෝන් කැපුව සචින් වාස්. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි මහින්ද ගීතා කුමාරසිංහ පෙන්නල මේ තමයි අපේ විහාරමහාදේවී කියල වීරකෝන්ට අඳුන්නල දීල ගීත උඩට ගෙනාවෙ.

ගුණරත්න වීරකෝන්

ගුණරත්න වීරකෝන් පාවා දෙන්නෙක් ද...?

පස්සෙ මිනිහ මහින්ද එක්ක තරහ වෙලා මයිත්රී එක්ක සෙට් වුණා. මෙයා වැඩ කරා. මෙයා ගොඩක් හම්බ කරා. ඒ හොරකම් කරල නෙවේ. මිනිස්සුන්ගෙන් ගත්ත සහ දුන්න. හැබැයි මිනිහ වැඩ කරා. එයා කරපු ලොකුම වැඩේ තමයි කරන්දෙණියෙන් වැලිවිටිය - දිවිතුර ගලවල  වෙනම පරිපාලන ඒකකයක් හදපු එක. මෙයා ගොඩාක් වැඩ කරපු අඩුවෙන් හොරකම් කරපු කෙනෙක්. පිස්තෝලෙ ඔළුවට තියල අක්කර හත්සිය පනහක් ආණ්ඩුවට ලියවගෙන ගම්මාන ගොඩාක් හදපු මිනිහෙක්. මිනිහ භූගෝලය කාපු එකෙක්. ඊ රෝඩ් ව්‍යාපෘතිය යටතේ බලප්‍රදේශයේ පාරවල් ප්‍රධාන පාරට සම්බන්ධ කරන මැප් එක වීරකෝන් ඇන්දෙ ලොකු සුදු කොළ උඩින් අතින්. ග්‍රාමසේවක වසං හැටෙන් බාගයක් වගේ අහුවෙන්න පාරවල් පද්ධතිය හැදුව. ඒ භූගෝලය ඇට ලේ මස් නහරවල දිරවං හිටිය නිසා. පාරවල් හදන එකට විරුද්ධ වෙච්ච මිනිස්සුන්ව ගස් බැඳල පාරෙ කොන්ක්රීට් එක වේලෙනකම් ඌට කන්න බොන්න දීල කසිප්පුත් පෙව්ව. ලංකාවේ එදා මෙදා තුර කුඩාම පිස්තොලය හම්බ උනේ මෙයාගෙ ගෝලයෙක් වෙච්ච ඩොනල්ඩ් සම්පත්. ඒව දිග කතා.මිනිහ වැඩක් කරා. මිනිහගෙ ගෝලයෙක්  වෙච්ච  හිටපු  සභාපතිට බාර් එකක් දුන්න රනිල්. වීරකෝන්ගෙ ප්ලස් මයිනස් ඕන තරම්. මිනිහ පක්ෂයෙන් ගිය පංතිය පාවා දුන්නෙක් කියල කිව්වත් ඔහු නිර්ධනයාට පුළුවන් උපරිමයෙන් වැඩ කර කෙනෙක්.  මිනිහ එක විදියක චරිතයක් .

බාත් රූම් පහක ගෙයක්

ඉතිං ලාල් ඔන්න ඔය වීරකෝන් මිනිස්සුන්ට ඉඩම් බෙදල ගෙවල් හදන්න ලෝන් දුන්න. ඒව හරියට ම කරා. මිනිස්සු වීරකෝන්ට ගඩොල් සිමෙන්ති වැලි ගෙනැත් දුන්න. තට්ටු දෙකේ ගෙයක් හැදුව මාලිගාවක් වගේ. එක සතයක් ගියේ නෑ. වැඩකරේ මිනිස්සුමයි. උදේට බඩගින්නෙ පයින් කිලෝ මීටර හතරක් පයිං ඉස්කෝලෙ ආපු අඩුකුලේ මිනිහෙක් වෙච්ච වීරකෝන් සියලු සැප සම්පත් සහිත බලය ධනය පිළිගැනීම තියෙන කාලෙක වේදිකාවක  කිව්ව "මට දැන් බාත් රූම් පහක් තියෙන ගෙයක් තියෙනව," කියල. කෙල්ලට මහින්ද ස්කොලර් එකක් දුන්න. පස්සෙ එයා ඔසී ගියා. පුතයි අම්මයි කොළඹ ගියා. අන්තිම කාලෙ බිව්ව. ජනාධිපති අරමුදලෙන් කරාපිටියෙ ඉස්පිරිතාලෙන් බයි පාස් කරපු එකම  ඇමැති. පස්සෙ ලෙඩ වුණා. බිව්ව දිගට. රේස් තුණ්ඩු දැම්මෙ ගෙදරට ගෙන්නං. මිනිහ කට්ටියගෙන් සල්ලි ඉල්ලනව. පස්සෙ පස්සෙ මිනිහගෙ ෆෝන් කෝල්වලට ආනසර් කරේ නෑ ගොඩක් අය. ඒ තට්ටු දෙකේ ගේත් විකිණුවා.

සුළු ධනේවර පංතියට අවිඥ්ඥානිකව ආස කරන පීඩිතයා

මම දවසක අන්තිම කාලෙ ගියා බාගයකුත් අරං. තනියම පහළ තට්ටුවේ කොරිඩෝවෙ පුටුවක් තියං ඉස්සරහ තියෙන මිනිහම හදපු පිට්ටනිය දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇවිල්ල මිනිහව නැත්තට ම නැතිවෙච්ච කාලෙ. අපි බිබී කයිය ගැහුව. මම ඇහුව උඩ තට්ටුවට එහෙම යනව ද කියල. පඩිපෙළ නගින්න බෑ කිව්ව. අවුරුදු පහකින් විතර උඩ තට්ටුවට ගියේ නෑ කිව්ව. ජනේලයක්වත් ඇරල නෑ කිව්ව අවුරුදු ගාණකින්. මකුණු දැල් පිරිලයි කිව්ව.

මම කිව්ව මාක්ස් එංගල්ස් ලෙනින් හොඳට අතපත ගාපු පංති පහ උගන්වපු 71 ආයුධ සන්නද්ධ කැරැල්ලට සජීවීව දායක වෙච්ච වමේ මිනිහ ගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනව අහන්නද කියල. හාං කිව්ව. මම ඇහුව "අර ඉස්සර සර් වේදිකාවක උද්දාමයෙන් කිව්වෙ මට දැන් බාත් රූම් පහක් තියෙන ගෙයක් තියෙනව කියල. අන්න එතන හිටියෙ  සුළු ධනේවර පංතියට අවිඥ්ඥානිකව ආස කරන පීඩිතයා නේද...?'' කියල? මගේ දිහා ටික වෙලාවක් බලං ඉඳල කිව්ව "පුතා මම දැන් ආස පුංචි කාමරයකුයි ඇටෑච් බාත් රූම් එකකුයි ගෑස් කුකර් එක තියා ගන්න පොඩි තැනකුයි " කියල.

පස්සෙ දවසක මට ආරංචි වුණා මම මේ කියන වීරකෝන් තලංගම ඉස්පිරිතාලෙ දි මැරිල කියල. මං ගියා. මම තමයි මිනිය අඳුර ගන්න මෝචරියට ගියේ. ට්‍රොලියෙ උඩිබැලි අතට හිටියෙ. කට ඇරිල තිබුණ.

ලාල්ගෙ ගේ දකිනකොට මට ඉතිං මේ කතාව මතක් වුණා. ගෙයක් හරි ශෝක් ලාල්... නිකං හම්බුණා වුණත් කමක් නෑ ඒක රස විඳින්න ඕන. මේ එක එක වටපඩයො කුහකකමට කියන ගතා තඹ සතේකට මායිම් නොකර බැක්ලනියට වෙලා පොඩි අඩියක් ගහන්න තනියෙං රෑට.

sarathSarath Premathilaka

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න