Image

බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නෑ - බස් මගී සංගමයෙන් චෝදනා !

බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නෑ - බස් මගී සංගමයෙන් චෝදනා !

ඉන්ධන මිල කිහිප අවස්ථාවකදීම අඩු වීමක් සිදු වුවද මාස 1 1/2ක පමණ කාලයක් කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකර බස් රථ හිමියන්ට හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයථා පරිදි ලාභ උපයන්න අවස්ථාව ලබා දී අද (26දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති 4% බස් ගාස්තු සංශෝධනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බස් මගීන්ගේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා මෙසේද කීය.

"මේ සිදු කරලා තියෙන 04% බස් ගාස්තු සංශෝධනය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඉන්ධන මිල කිහිප අවස්ථාවකදීම අඩු වීමක් සිදු වුණා. නමුත් බලධාරීන් මාස 1 1/2ක පමණ කාලයක් බස් හිමියන්ට හා ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් මණ්ඩලයට අයථා පරිදි ලාභ උපයන්න අවස්ථාව ලබා දී නිහඬව බලා සිටියා. එපමණ කාලයක් බලා ඉඳලත් මේ සිදු කරලා තියෙන බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නෑ.

අපි 21දා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සංදේශයක් භාර දෙමින් ඉල්ලා සිටියේ අවම බස් ගාස්තුව රු. 12 සිට රු. 10 දක්වා අඩු කරලා මගීන්ට දැනෙන ආකාරයේ බස් ගාස්තු සංශෝධනයක් කරන්න කියලා. නමුත් මෙහිදී සිදු කරලා තියෙන්නේ මුළුමනින්ම මගීන් රැවටීමක්. අවම බස් ගාස්තුව අඩු කිරීමක් කරලා නෑ. දෙවැනි බස් ගාස්තුවේ ඉඳලා තමයි අඩු කිරීමක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ රු. 15 අඩු කරලා රු. 14 දක්වා. රු. 20 බස් ගාස්තුව අඩු කරලා රු. 19 දක්වා. මේ ආකාරයෙන් සිදු කරන බස් ගාස්තුවෙන් මගීන්ට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? රුපියලකින් අඩු කළාට වැඩක් නෑ. මොකද ඉතුරු රුපියල් මගීන්ට ආපසු දෙන්නෙත් නැ. මේ රැවටීමක් කරලා තියෙන්නේ අසරණ මගීන්ව.

රුපියල් 22කින් ඉන්ධන මිල අඩු කරලා තියෙන වෙලාවක මගීන්ට මීට වඩා සහනදායි බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතුයි. අපි ලබන සතිය ඇතුළත අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අලුත් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

අද ඉන්ධන මිල වැඩි වුණොත් හෙට බස් ගාස්තු වැඩි කරනවා. නමුත් ඉන්ධන මිල අඩු වීමේදී එහෙම ඉක්මනින් බස් ගාස්තු සංශෝධනය වෙනවා අපි දකින්නේ නෑ. ඒක මගියාට අසාධාරණයක්. අපි කියන්නේ ඉන්ධන මිල සූත්‍රය වගේ විද්‍යාත්මක පදනමක් තියෙන ක්‍රමවේදයක් බස් ගාස්තු සංශෝධනය සඳහා හඳුන්වා දෙන්න කියලා. ඉන්ධන මිල අඩු වැඩි වෙන එකට සාපේක්‍ෂව බස්ගාස්තු සංශෝධනය වෙන ක්‍රමවේදයක් අවශ්‍ය කරලා තියෙනවා.

හයිවේ එකෙන් මුදල් අය කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. සමස්ත මාර්ග පද්ධතියම මුදල් අය කිරීම ගැන ගැටලුවක් තියෙනවා. අපිට නම් තේරෙන්නේ මේක බලධාරීන් එකතුවෙලා කරන මාෆියාවක් කියලා. ඒ කියන්නෙ අමාත්‍යාංශ ප්‍රධානීන්, ප්‍රවාහන අංශ ප්‍රධානීන්, නියාමන ආයතන, බස් හිමියන්, බස් රථ සේවකයන් ඇතුළු මේ සියලුදෙනා එකතුවෙලා ලොකු මාෆියාවක් කරනවා. අසරණ මගීන් මේකෙන් පීඩා විඳිනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න