සිරිසේන නිවාඩු ගිහින් : අමාත්‍යංශ විෂය පථ ගැසට් පත්‍රය තවත් ප්‍රමාද වෙයි !
නව අමාත්‍යංශ යටතට ගැනෙන රාජ්‍ය ආයතන ඇතුළු අදාළ විෂය පත සඳහන් ගැසට් පත්‍රය තවත් කල්යන අතර ඒ හේතුවෙන් අමාත්‍යංශ වල රාජකාරි ආරම්භ කිරීම දුෂ්කරව ඇති බව වාර්තා වෙයි.
ඊට හේතුව ලෙස වාර්තා වන්නේ සිරිසේන ජනාධිපති සිය පවුලේ උදවිය සමඟ පෞද්ගලික නිවාඩුවක් ගත කිරීමට විදෙස් ගතව ඇති නමුත් අදාළ ගැසට් පත්‍රයට අත්සන් නොතැබීමය.
පසුගිය ඔක්තෝබර් 26 වනදා සිරිසේන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක්ව දියත්කල ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය හමුවේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම අකර්මණ්‍ය වූ අතර එම තත්ත්වය එසේම පවතින්නට ඉඩදීමක් මේ හරහා පෙන්නුම් කරන බව රජයේ ඉහල නිලධාරීන්ගේද අදහස වී ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම වෙනුවෙන් මෙවැනි කටයුතු කරන බවට පැහැදිළි සැකයක් මතුවන බවය. ඒ හැර කිසිඳු ජනාධිපතිවරයෙක් මේ ආකාරයට තම මූලික රාජකාරි අත්හැර නිවාඩු ගත කිරීමට නොයන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.