Image

ලක්සල 62 වන සංවත්සරය සමරයි

ලක්සල 62 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත උරුමයට නව බලාපොරොත්තුවක්.

ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සංස්කෘතිය සහ පරම්පරාගත නිර්මාණශීලීත්වය ලෝකය වෙත ගෙන යන ලක්සල ආයතනය, සිය 62 වන සංවත්සරය පසුගිය 05 වන දින බෞද්ධාලෝක මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාල හා ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේදී චාම් අයුරින් සමරනු ලැබීය.

වසර 1964 නොවැම්බර් 05 වන දින ආරම්භ වූ ලක්සල යනු සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දක්ෂතාවලට සහ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ උරුමයට ජාතික වේදිකාවක් සපයන වටිනා ජාතික සම්පතකි. ශිල්පියෙකුගේ දෑතින් නිමැවෙන සෑම නිර්මාණයක් තුළම ඔවුන්ගේ දක්ෂතාව, ජීවිත අත්දැකීම්, කැපවීම සහ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ වටිනාකම අඩංගු වී තිබේ.

මෙම අභිමානවත් සංවත්සර උත්සවය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය, ප්‍රදර්ශනාගාර කළමනාකරුවන්, ප්‍රදර්ශනාගාර භාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් එක්වූහ.

ලක්සල යනු සියලු දෙනාටම අයත් ජාතික සම්පතක්

උත්සව සභාව අමතමින් සභාපතිනි සුජීවා සේනානායක ප්‍රකාශ කළේ, වසර 62ක උරුමය අභිමානයෙන් සිහිපත් කරන අතරම, රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලක්සලෙන් ඉටුවිය යුතු මෙහෙවර පිළිබඳව නව දැක්මකින් යුතුව ඉදිරියට ගමන් කළ යුතු බවයි. ලක්සල යනු සියලු දෙනාටම අයත් ජාතික සම්පතක් වන අතර එහි අනාගතය ගොඩනැඟීම සැමගේ සාමූහික වගකීමක් බව ද ඇය සඳහන් කළාය.

ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම අයෙකුගේම කැපවීම සහ අවංක දායකත්වය අපේක්ෂා කරන බවත්, ආයතනයේ දියුණුව තුළින් දේශීය ශිල්පියාට ශක්තියක් ලබාදෙමින් රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්වයක් ලබාදිය යුතු බවත් ඇය අවධාරණය කළාය. එසේම දේශීය ශිල්පීන්ගේ නිර්මාණ සඳහා සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය නිෂ්පාදන ලෝකය වෙත ගෙන යාම ඉදිරි ගමනේ ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ප්‍රකාශ විය.

නව දැක්මකින් අනාගතය ගොඩනැඟීමට සූදානම්

වසර 62ක් පුරා ලක්සල සමඟ එක්ව ගමන් කළ සියලුම ශිල්පීන්ට, සේවක සේවිකාවන්ට, පාරිභෝගිකයන්ට සහ දියුණුව වෙනුවෙන් දායක වූ සැමට ආයතනයේ කෘතවේදීත්වය හිමිවන අතර, අතීත උරුමය රැකගෙන නව දැක්මකින් අනාගතය ගොඩනැඟීමට ලක්සල කැපවී සිටියි.

ජේ.මුණසිංහ 

WhatsApp Image 2026 11 16 at 7.44.35 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න