අයවැය ගැන අධ්‍යනය කිරීමට පොහොට්ටුවෙන් කමිටුවක්
මේ සතියේ මුල පාර්ලිමේන්තුව නොපැවැත්වූ නිසා නාමල්ට පාර්ලිමේන්තුවට ඒමට හැකි වූයේ නැත.
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු,ඩී.වී චානක, සාගර කාරියවසම්, යූ.කේ සුමිත්, ඉන්දික අනුරුද්ධ, ජානක වක්කුඹුර ඇතුළු පිරිසක් නාමල් බැලීමට බන්ධනාගාරයට පැමිණ තිබිණි.
"මේ බ්‍රහස්පතින්දා අයවැය එනවා අපේ අයට අයවැය ආවම ඒක හොදින් අධ්‍යනය කරන්න කියන්න" නාමල් පැවසීය.
"අපි ඒ පිළිබඳව අධ්‍යනය කරන්න කමිටුවක් පත් කරන්න විශේෂයෙන්ම තරුණ අයට ඒ වගකිම බාර දෙන්න" නාමල් වැඩිදුරටත් පැවසීය.
"ඔව්, අපි තරුණ අයට වැඩි අවස්ථාවක් දෙනවා" ඩී.වී චානක පැවසීය.
"විශේෂයෙන්ම රූපවාහිනී නාලිකාවල වැඩසටහන්වලට සහ විවාදවලට තරුණ කණ්ඩායම් යවන්න අපි තීරණය කලා" ජොන්ස්ටන් පැවසීය.
"ඔව් කංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, අපේ ඩී.වී චානක මේ ඔක්කොම හැදුනෙ ඒ දිනවල තරුණයින්ට අවස්ථාව ලැබුණු නිසා" නාමල් අතීතය මතක් කර දුන්නේය.
"ඔව්, පුළුවන් තරම් අත්දැකීම් ගන්න ඕනෙ" ජොන්ස්ටන් පැවසීය.
"මුලින්ම රූපවාහිනී වැඩසටහන්වලට යන්න කලින් දත්ත හරියට එකතු කරගන්න කියන්න. අනුර කුමාර වගේ කටට එන ඒවා කියන්න යන්න එපා එතකොට නිකන්ම සවුත්තු වෙනවා" නාමල් කීවේ සිනාසෙමිනි.
"මේ අය වැය හොදින් අධ්‍යනය කරන්න හරියට පින් ටු පොයින්ට් බලන්න" නාමල් නැවත ජොනීට පැවසීය.
"ඔබතුමා කිවුව විදියටම දැන් කොට්ඨාස රැස්වීමුත් පටන් අරන් තියෙන්නෙ" ඩී.වී චානක පැවසීය.
"ඔව්, මම බන්ධනාගාරෙ නිව්ස් බලනකොට ඒ ඔක්කොම දැක්කා" නාමල් පැවසීය.
"යුක්තිය වෙනුවෙන් නැගිටිමු සම්මන්ත්‍රණයට හොඳ ප්‍රතිචාර තියෙනවා" ජොනී පැවසීය.
"ඔව්, අපේ අලුත් ලෝයර් මහත්තයා සංජීව වීරවික්රමට සෑහෙන ප්‍රතිචාර තියෙනවා" ඩී.වී පැවසීය.
"ඔව් හරියටම දැන ගෙන කතා කරන්න. පහුගිය අයවැයෙන් පොරොන්දු වෙච්ච් ඒවත් තාම කරලා නෑ. ඕවා ගමින් ගමට ගිහිල්ලා දැනුවත් කරන්න" නාමල් පැවසීය.
බන්ධනාගාරයේ සරම්ප
ඊට පසුවෙනිදා නාමල්ව බැලීමට ජොනී සහ ඩී.වී ගියත් එදින නාමල් බැලීමට හැකියාවක් ලැබුණේ නැත.
ඊට හේතුව වූයේ නාමල් රඳවා තබාගෙන සිටින බන්ධනාගාරය ඇතුළු තවත් බන්ධනාගාර දෙකක සරම්ප රෝගය රැඳවියන් අතර පැතිර යාමය.
එදින නාමල් බැලීමට නොහැකි වූ අතර නාමල් සුවෙන් සිටින බව සැකහැර දැනගත් පිරිස එතැනින් පිටත් විය.
බ්‍රහස්පතින්දා දිනයේදී ක්‍රිෂ් නඩුවට අදාළව කොළඹ මහාධිකරණයට නාමල් රැගෙන ඒමට තිබුණත් සරම්ප වසංගත තත්වය නිසා සිරකරුවන් අධිකරණයට නොගෙන්වන බැවින් නාමල්වද එදින අධිකරණයට ඉදිරිපත් කළේ නැත.
අයවැයට පාර්ලිමේන්තු ආපු නාමල්
නමුත් 12 වෙනිදා අය වැය ඉදිරිපත් කරන දිනය බැවින් නාමල් පාර්ලිමේන්තුවට පැමිණියේය.
නාමල් පාර්ලිමේන්තුව තුළට පැමිණියේ ඩී.වී චානක හා චානක මාදුගොඩ මන්ත්‍රීවරුන් සමගය.
"ආ.. නාමල් මන්ත්‍රීතුමා සුදුවෙලා" අයවැය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් නාමල්ට පැවසීය.
"ඇයි ඉතින් මට ඉර එළිය වැටෙන්නෙ නෑනෙ ඒ නිසා සුදුවෙලා තමයි" නාමල් සිනාසෙමින් පැවසීය.
අය වැය ඉදිරිපත් කරන්න සති දෙකකට මත්තෙන් නාමල් ලිපියක් මගින් ජනාධිපතිවරයාට පාසැල් උපකරණවල බදු අඩුකරන ලෙසට ඉල්ලා තිබුණු අතර ජනාධිපතිවරයාද අයවැයෙන් පාසැල් පොත්පත් වල වැට් බදු අහෝසි කර තිබිණි.
"ඔන්න, නාමල් මන්ත්‍රීතුමා කියපු විදියට පාසැල් පොත්වල වැට් අහෝසි කරලා" මාධ්‍යවේදීන්ද නාමල්ට පැවසීය.
"ඔව්, ඉතින් අපි හිර කරලා තිබුණත් අපි ජනතාව වෙනුවෙන් කතා කරනවා" නාමල් පැවසීය.
නාමල් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන් සමගත කතා බහ කරමින් නැවත බන්ධනාගාරයට යෑමට පැමිණෙන විට එතැන සිටි බන්ධනාගාර නිලධාරීන් නාමල්ට ස්තුතිය පුද කළේය.
"ඔබතුමා පාර්ලිමේන්තුවේ අපේ අවදානම් දීමනාව වැඩි කරන්න කියලා හඬක් නැගුවා අන්න ඒක හැබෑවෙලා බන්ධනාගාර නිලධාරීන්ගෙ අවදානම් දීමනාව රුපියල් අටදාහෙ ඉඳලා දහසය දස දක්වා වැඩි කරලා. මට අපේ බන්ධනාගාර නිලධාරින්ගෙන් කෝල් එනවා නාමල් සර්ට ස්තුති කරන්න කියලා" එම නිලධාරියා පැවසීය.
"ඔව් අපි දකිනවනෙ ඔය ගොල්ලො දුක් විදින තරම" නාමල් එසේ පවසමින් බස් රථයට ගොඩවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
