කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්ය විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 02 වනදා යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (19) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය අද දින පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී පෙනී සිටි 08 වන සාක්ෂිකරුට ඉදිරි දිනයේදී නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කෙරිණි. කෙසේ වෙතත්, අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි 05 වන සාක්ෂිකරුට නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනෙකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර, අනෙක් සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා පෙනී සිටියේය.
2016 පෙබරවාරි 06 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුගේ ශ්රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින්, එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු ප්රධාන මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නිරත වීමට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබුණි.
මහා මාර්ගය අවහිර වන ආකාරයෙන් සැකකරුවන් ඇතුළු 600 කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටි බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අද මෙම නඩුවේ සැකකරුවන් වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
