Image

මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි කියන සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ හිටපු පුද්ගලික ලේකම්වරයා එළඹෙන 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (09) නියෝග කළේය.

මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති සැකකරුය. අල්ලස් පනත යටතේ එන 'දූෂණය' නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළහ.

නිසි හා විධිමත් ක්‍රමවේදයකින් තොරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම, එම සමාගම්වලට පොස්පේට් ආනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම සහ ඊට ආධාර අනුබල දීම වෙනුවෙන් සැකකරු රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන තම බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.

මීට අමතරව, අදාළ බලපත්‍ර නිකුත් කළ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට ද අල්ලස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක වන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න