Image

අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් - වජිර අබේවර්ධන

අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් - වජිර අබේවර්ධන

මහජනතාව තමන්ගේ සංස්කෘතික වටිනාකමක් තිබෙන සිංහල දෙමළ අවුරුද්ද සැමරීමට කෙසේ හෝ ක්‍රියා කර ති‍බෙන බවත්, එය වැදගත් දෙයක් ලෙස දකින බවත්, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වන අතර මොන පීඩනයක් මැද්දේ හරි මහජනයා ඒ පණිවිඩය රජයට ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේ වර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන

තෙල් මිල අඩු වෙනකොට අඩු කරන්න ආණ්ඩුව කාරුණික විය යුතු යි

රජය සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සහ ඒවා සම්බන්ධයෙන් ක්‍රියා නොකළත්, රජයට එය පාලනය කිරීමට බැහැ. මහජනයා ඒ කටයුතු තමන් ගේ තිබෙන කණකර උකස් තියලා හරි  සිදු කරනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාම ආඩම්බර වෙන්න ඕන අවස්ථාවක්. රටේ විශාල ජන පීඩනයක් ඇතිවෙලා තිබෙන්නේ. ඉතාමත් අමාරුයි. මහජනයාට තෙල් භාවිතා කරලා ගමන් බිමන් යන්න බැරි තැනට පත් කරලා තිබෙනවා. ඉතාම අමාරු තැනක රට තිබෙන්නේ. ඉතින් ඒ හැමදේටම යුද්ධය නැමැති වාක්‍යය පාවිච්චි කරලා නිදහස් වෙන්න බැහැ. තෙල් බැරලයේ මිල අද දවසේ මගේ කල්පනාවේ හැටියට 94 දක්වා අඩුවෙලා තිබෙනවා. මිල සූත්‍රය අනුව අඩුවෙනකොට අඩුවෙන්නත්, වැඩිවෙනකොට වැඩි කරන්නත් ආණ්ඩු ඕන නැහැ කියලා අද ආණ්ඩු කරන අය එදා කිව්වත් අඩුම තරමේ අද වෙනකොට තෙල් මිල අඩු වෙනකොට අඩු කරන්නවත් ආණ්ඩුව කාරුණික විය යුතුව තිබෙනවා. කොහොම නමුත් දැනට අවශ්‍ය කරන්නේ විරුද්ධ පක්ෂයක් ලෙස උද්ඝෝෂණය කරන එක නෙමෙයි. ඒ කටයුත්තටත් වඩා මෙහෙම බිම දාන රටක් කොහොමද ගොඩගන්නේ කියන එකටයි විරුද්ධ පක්ෂයක් අවශ්‍ය කරලා තිබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි කල්පනා කරලා බැලුවොත් මේ සකස්කරලා තිබුණු සියලු පනත්, උදාහරණයක් විදිහට මේ ආර්ථික පරිවර්තන පනත. මේක හැදුවේ වැටෙන රට ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ගොඩගන්න. මේ පනත දැන් සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙලා ඉවරයි. දැන් බෑ මේ නීතිය යටතේ ආපහු රට වෙනස් කරන්න. එහෙනම් අලුත් පරිවර්තනයක් අවශ්‍ය කරලා තිබෙනවා.

මහජනතාව, සුරංගනා කතාවලට හසුනොවිය යුතුයි

මේ දූෂණ විරෝධී පනත, මේවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනාවේ රටට යහපතක් කිරීම සඳහා. ඊළඟට උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු අයවැය කාර්යාලය. මේක ගෙනාවේ මුදල් පරිපාලනය නිසියාකාරව ඉෂ්ට කරන්න. එතකොට මේ වගේ පනත් රාශියක් ගෙනල්ලා තිබුණා. දැන් මේ පනත් සියල්ලම විනාශ කරලා ඉවරයි. දැන් මේ පනත් වලින් ආපහු රට ගොඩගන්න බෑ. එහෙනම් අලුත් යුගයක් අවශ්‍යයි. ඒ යුගය ශ්‍රී ලාංකීය මහජනතාව මතක තබාගත යුතුයි, 77 ඇතිවෙච්ච යුග පෙරළියට වඩා මහා පරිවර්තනයක් අවශ්‍ය කරලා තියෙන අවස්ථාවක් මේක. එහෙනම් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය වෙන්නේ මෙන්න මේ විනාශ කරන ආර්ථික ප්‍රතිපත්ති, පනත් සියල්ල ම විනාශ කරාට පස්සේ කොහොමද ඒක ගොඩගන්නේ කියලා, අන්න ඒ කාර්යභාරයට තමයි විරුද්ධ පක්ෂයක් අවශ්‍ය කරලා තිබෙන්නේ. එහෙම නැතුව ආයෙමත් බොරු ප්‍රකාශ නිකුත් කරලා, දේශපාලන පක්ෂ තමන්ට මන්ත්‍රීවරයෙක් වෙන්න, තමන්ට අගමැතිවරයෙක් වෙන්න, ඇමතිවරයෙක් වෙන්න, ජනාධිපතිවරයෙක් වෙන්න පොරකන දේශපාලන සංස්කෘතිය ශ්‍රී ලංකා භූමියෙන් අතුගා දැමිය යුතුව තිබෙනවා. ඉතින් මහජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. නැවත සුරංගනා කතාවලට මහජනතාව හසුනොවිය යුතුයි. එහෙනම් රට ගොඩගන්න නම් විශාල පරිවර්තනයක් අවශ්‍යයි. 77 කරපු පරිවර්තනය නිසා ඔබ කැමරාව අල්ලගෙන ඉන්නවා. ඔබට රූපවාහිනී යන්ත්‍ර ලැබිලා තිබෙනවා. ඔබට මාධ්‍ය ලැබිලා තිබෙනවා. ඔබට මෝටර් සයිකල් ලැබිලා තියෙනවා, ඔබට බස් ලැබිලා තිබෙනවා, ඔබට විදුලිය ලැබිලා තිබෙනවා. ඔබට සෞඛ්‍ය අධ්‍යාපනය ලැබිලා තිබෙනවා 77 මහා පරිවර්තනයත් සමඟ.

රටට විශාල පරිවර්තනයක් අවශ්‍යයි

නමුත් දැන් ඒ වගේ දහස් ගුණයක පිම්මක් ආර්ථිකයට අවශ්‍ය කරලා තිබෙනවා. ඒක කරන්න බැහැ මේ විහිළු සපයන දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍ර විරෝධීව මහජනයා නොමග යැවීමෙන් කරන ක්‍රියාවලියත් එක්ක. එහෙනම් විශාල පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය නැවත මේ රටේ ඇති කරන්න පුළුවන් එකම නායකත්වයක් රටේ ඉතුරු වෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ නැමැති අවුරුදු 50ක දේශපාලන පලපුරුද්ද සහ ආර්ථික අත්දැකීම් සහ ජාත්‍යන්තරය පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියාකරන්න පුළුවන් නායකත්වය. එතුමා ගේ ඒ ප්‍රයෝජනය ශ්‍රී ලාංකීය මහජනතාව ලබාගත යුතුයි. එසේ ලබා නොගත්තොත් මේ රට යටත් විජිතයක් වනු නොඅනුමානයි. ඇත්ත වශයෙන් දැනටමත් ආර්ථිකයට බලපෑම් එල්ල වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ ඩොලරය නීතියෙන් 380යේ තබාගෙන සිටින අවස්ථාවක. එළියේ මාකට් එකේ 450ට 500ට තිබුණු අවස්ථාවක. රට තුළ ඩොලර් දකින්න නොතිබුණු අවස්ථාවක.  2022 මැයි මාසේ 12 වෙනිදා අගමැතිධූරයත්, 2022 ජූලි මාසේ 20 වෙනිදා ජනාධිපති ධූරයත් භාර අරගෙන ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති කරලා රට වෙනස් කරලා ඉදිරියට ගෙනියන්න තමයි එතුමා සැලසුම් කරේ. දැන් එහෙම සැලසුමක් යටතේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා වර්තමාන ජනාධිපතිතුමාට රට භාර දුන්නේ ඩොලර් එක රුපියල් 290ත් රුපියල් 291ත් තිබෙන අවස්ථාවක. එහෙනම් අර ආර්ථික පරිවර්තන පනත අනුව වගේම අනිත් පනත් අනුවත් මේ මොහොතේ ඩොලරය තබාගත යුතුව තිබුණේ 250ත් 275ත් අතරෙයි. එසේ තිබුණා නම් තමයි ලෝකයේ කුමන යුද්ධයක් තිබුණත් මහජනතාවට පීඩනයෙන් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ.

ජනතාව සිහි බුද්ධියෙන් වැඩ නොකළාත්...?

දැන් කෙසේ හෝ අද ඩොලරය රුපියල් 320යි රුපියල් 318යි විවිධ ගණන් කියනවා. එක රුපියලක් වැඩි උනහම මහා භාණ්ඩාගාරයේ තිබෙන ණයවලට එකතුවෙනවා රුපියල් බිලියන 37ක්. දැන් බිලියන 37 ඒවා 29ක් එකතු වෙලා තියෙනවා, දළ වශයෙන් අනෙකුත් කාරණා සමග සංශෝධනය කළාම 1.4 ට්‍රිලියන් එකතු වෙලා තිබෙනවා. මේක ට්‍රිලියන් දෙකට  යනකොට ආණ්ඩුවක් මහපොළවේ පවතින්න විදියක් නැත. ඉතින් ඒ නිසා මේ කඩා වැටෙන මහා විනාශයෙන් රට නිදහස් කර ගැනීම සඳහා, ශ්‍රී ලාංකීය මහජනතාවට මේ අලුත් අවුරුද්දේ දෙන්න තිබෙන පණිවිඩය තමයි සිහි බුද්ධියෙන් ක්‍රියා කරන්න කියලා. සිහි බුද්ධියෙන් වැඩ කරන්න කියලා. එසේ නොකළොත් ඔබේ දරුවන්ට මේ රට උරුම වෙන්නේ ලෝකයේ යටත් විජිතයක් ලෙස බව මතක තබාගත යුතුයි.''

මතු පළ වන්නේ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන ලබාදුන් පිළිතුරු ය.

ප්‍රශ්නය-:

දැන් අර ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, ජනාධිපති කොමිසමක් පත්කරලා තියෙනවා පැරණි ගල් අඟුරු සිද්ධි සම්බන්ධව වාර්තා කරන්න. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අදහස කුමක්ද?

පිළිතුර-:

''සිවිල් නඩු නම් අවුරුදු දහයෙන් මගේ කල්පනාවේ හැටියට කාලය අවසන් වෙනවා. ක්‍රිමිනල් නඩු නම් මං හිතන්නේ ජීවිතාන්තය දක්වා වලංගුයි. මං හිතන්නේ ඒකෙන් පෙනී යනවා යම් වරදක් සිදුවී ඇති බව. අතීතයට ගමන් කිරීම කියලා කියන්නේ  'ආ රයිට් ඒගොල්ලොත් වැරදියි අපිත් වැරදියි' කියලානේ. ඒගොල්ලොත් වැරදියි අපිත් වැරදියි කියන්න නෙවෙයි මහජනයා මේ ආණ්ඩුව පත්කරේ. ඒගොල්ලා වැරදියි මේගොල්ලා හරියට කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි පත්කරේ. ඉතින් ඒ නිසා ඒ පණිවිඩයෙන්ම ආණ්ඩුව වැරැද්ද පිළිඅරගෙන ඉවරයි.

මං හිතන්නේ අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුව තිබෙනවා. පත්වෙන ආණ්ඩුව විරුද්ධ පක්ෂයටත්, විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂයටත් දොස් කියන සෙල්ලම ශ්‍රී ලංකාවේ නැවැත්විය යුතුව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව මේ කටයුත්ත අවසන් කරන්න නම් අපි සියලුදෙනා එකට ක්‍රියා කළ යුතුව තිබෙනවා. එහෙනම් එකට ක්‍රියා කරනවා නම් මේ වැරදි වෙනකොටම අනිත් කණ්ඩායම ඒ වැරැද්ද පෙන්නුම් කරලා දෙන්න තිබෙනවා. වෙන වෙනම ක්‍රියාකරනකොට තණ්හාව වැඩි උනහම, ආශාව වැඩි උනහම එසේ ක්‍රියා කරන්න ගියහම මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාපු ස්වාධීන ප්‍රසම්පාදන කොමිෂන් සභාවටත් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කරන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් රටට අවශ්‍ය කරලා තිබෙනවා.''

ප්‍රශ්නය-:

ආණ්ඩුව ලැබුණු ජනවරමත් එක්ක ඉස්සරහට යනවා. අපි දකිනවා විපක්ෂයක් විදියට තවම එකමුතු වීමක් දකින්න නෑ. වෙන වෙනම තමයි ඉන්නේ... මේ ගැන අදහසක් තිබෙනව ද ඔබතුමන්ට?

පිළිතුර-:

''විපක්ෂය ඒකාබද්ධව එකමුතුව අවශ්‍යතාවය පැනනගින අවස්ථාවේ දී එකට ක්‍රියා කරයි. ඒකෙන් පිට කාටවත් ක්‍රියා කරන්න බැහැ. ගමේ මහජනයා, නගරේ මහජනයා පණිවිඩයක් දීලා ඉවරයි. ග්‍රාමීය මැතිවරණ සියල්ලක් පරාජයට පත්කරලා ඉවරයි. ඒවා සමූපකාර ඡන්ද වෙන්න පුළුවන්, වෙනත් ගොවි මධ්‍යස්ථාන වල ඡන්ද වෙන්න පුළුවන්, වෙනත් ඡන්ද වෙන්න පුළුවන්, සියලු ම ඡන්ද පරාජයට පත්කරලා තිබෙන්නේ. ඉතින් ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයකින් ඕනෑම අවස්ථාවක ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මහජනයා භාවිතා කරාවී.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න