ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වන ලෙස නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් ද ඇතුළුව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීන ජනාධිපති නීතිඥවරුන් පිරිසක් විසින් තමන් වෙත ලිඛිතවම ඉදිරිපත් කරන ලද ඉල්ලීම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව 2027/28 වර්ෂය සඳහා සභාපති ධුරයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ප්‍රකාශ කළේ ය.
“වර්තමානයේදී නීති වෘත්තිකයන්හට මුහුණ දීමට සිදුව ඇති සංකීර්ණ අභියෝග හමුවේ නීතිඥ සංගමයේ සිය සාමාජිකයන් එක්සත් කිරීම සඳහා ශක්තිමත් සහ පළපුරුදු නායකත්වයක් අවශ්‍ය බව නීතිඥ ප්‍රජාවේ බහුතර මතය” බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් සිදු කරන ලදඑම ඉල්ලීමෙහි සඳහන් වෙයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පූර්වගාමී සභාපතිවරුන් වන ආචාර්ය රොමේෂ් ද සිල්වා, ඉක්‍රාම් මොහොමඩ්, ඩබ්ලිව්. දයාරත්න, ජෙෆ්‍රි අලගරත්නම්, ආචාර්ය විජයදාස රාජපක්ෂ, කාලිංග ඉන්දතිස්ස, යූ. ආර්. ද සිල්වා සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් ද, ආචාර්ය කේ. කනගීශ්වරන්, ආචාර්ය ෆයිස් මුස්තාපා යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු ව අගනුවර සහ පිට පළාත්වල වෘත්තියෙහි යෙදෙන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රාශියක් කුවේර ද සොයිසා ගේ අපේක්ෂකත්වය සඳහා තම සහයෝගය ප්‍රකාශ කර ඇත.
වාණිජ නීතිය සහ සිවිල් නීතිය යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ නීතිඥවරයෙකු ලෙස වසර 30කට අධික පළපුරුද්දක් ඇති ජනාධිපති නීතිඥවරයෙකුදවන කුවේර ද සොයිසා නීති වෘත්තියට ලබා දී ඇති දායකත්වය අති මහත්ය.
ඔහු 2014 හා 2015 වසරවල දී ජාතික නීති සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරඇති අතර 2017 වසරේ දී නීතිඥ සංගමයේ සමාජ හා සුබසාධන කමිටුවේ සහ ජාතික නීති සතියෙහි සභාපති ධුරය ඉසිලීය. 2018 හා 2019 වසරවලදී කනිෂ්ඨ නීතිඥවරුන් 8000කට අධික ප්‍රමාණයක් විසින් නියෝජනය කරනු ලබන කනිෂ්ඨ නීතිඥ කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙහෙයවනු ලබන අඛණ්ඩ අධ්‍යාපන සහපුහුණු වැඩසටහන්වල සිවිල් නඩු විධානය, බුද්ධිමය දේපළනීතිය, වාණිජ සමථකරණය, බේරුම්කරණය සහ සමාගම් නීතිය යන විෂයයන්හි සම්පත්දායකයකු ලෙස ද කුවේර ද සොයිසා දායක වී ඇත.

