ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 23වන ජාතික සම්මේලනය තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.
එහිදී ඉදිරි වසර හතර සඳහා වැඩපිළිවෙලක් සම්මත කරගැනීම සහ එම පක්ෂයේ පවතින මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සෑම දිස්ත්‍රික්කයේ ම නියෝජිත ඡන්දයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පත්කර ගැනීම සිදුවිය. තේරී පත්වූ මධ්‍යම කාරක සභා නියෝජිතයින් අද දින රැස්වූ අතර එහි දී එම පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා තෝරා පත් කරගෙන ඇත.
1997 වර්ෂයේ ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසි ඔහු පසුව දකුණු පළාත් අමාත්‍ය ධූරයක්ද දැරී ය. 2020 වර්ෂයේ දී පැවති මහ මැතිවරණයෙන් මනාප 77 968 ක් ලබා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේ ය. එහිදී පිටබැද්දර සහ මුලටියන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ද, පාර්ලිමේන්තු සභාපති මණ්ඩලයේද, කෝපා කමිටු සාමාජිකයකු ලෙස ද, වැවිලි කර්මාන්ත උපදේශක කාරක සභිකයකු ලෙස ද, ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරයා ද, කැනඩා පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයකු ලෙස ද, වියට්නාම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ සභාපති ලෙස ද, ඔස්ට්‍රේලියානු, කියුබානු, තුර්කි, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල විධායක සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත.
පක්ෂයේ සාමාජිකයකු වශයෙන් පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම කාරක සභික හා දේශපාලන මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළ අතර ලංකා කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළේය. වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. එසේම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDF) විධායක සභිකයකු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළු රැසකට සහභාගී වී අත්දැකීම් ලබා ඇති අයෙකි. මාතර දිස්ත්‍රික්කයේ පොදු ජන අයිතිවාසිකම් පිළිබඳව සහ ජාතික හා ජාත්‍යන්තර ප්‍රගතිශීලී අරගල වලදී තීරණාත්මක කාර්යභාරයක්ද ඔහු ඉටු කළේ ය

