ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහට දැනුම් දී තිබේ.

ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරය.

නව සමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂකවරුන් 7 දෙනෙකු පත් කර දැනට කළමනාකාර භාරයකින් පාලනය වන දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පහක් මෙම සමාගම යටතට පත් කිරීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම ඊයේ දිනයේදී පැවැත්විණි.

ඒ සඳහා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුනිල් බියන්විල, රාජ්‍ය ආයතන නිලදාරීන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කණ්ඩායම්ද සහභාගී වී තිබේ.

මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ  සහ වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් සෘජුවම අමාත්‍යවරයාට දන්වා ඇත්තේ මෙම වෙළෙඳ ව්‍යාපාර වසර 35කට වඩා වැඩි කාලයක් විසින් වෙළෙන්දන් විසින් පවත්වාගෙන ආ ආයතනයක් බවය.

එමෙන්ම කිසිදු දැනුම්දීමක් නොමැතිව එක්වරම අමාත්‍යවරයාට අවශ්‍ය කණ්ඩායම් පත් කර තම වෙළෙඳ ව්‍යාපාර ස්ථාන පාලනය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ඔවුන් අමාත්‍යවරයාට දන්වා තිබේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ  ව්‍යාපාරික ප්‍රජාව අමතමින් සඳහන් කර ඇත්තේ නව සමාගමක් ස්ථාපිත කර ඇත්තේ ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කර ඉතා සාධාරණ වෙළෙඳපළක් ජනතාවට ලබා දීම සඳහා වන බවය.

ඒ අනුව දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙම නව සමාගම යටතට පත් කර ඒවායේ ලැබෙන මාසික බදු මුදල් පරිපාලන කටයුතු සියල්ල ලබන මාසයේ සිට මෙම සමාගම වෙත ගෙවීම් කළ යුතු බව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

මෙමගින් කිසිදු ආකාරයකින් ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අයිතිය අහිමි නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කර ඇති වෙලෙඳ ප්‍රජාව විසින් දැනුම්දී ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරව සහ කිසිදු සොයාබැලීමකින් තොරව නව ආයතනයක් පිහිටුවා තමන් පවත්වාගෙන ආ ව්‍යාපාර පවරාදීමට නොහැකි බවත් දැනට ඉතා ශක්තිමක් කළමනාකරණ භාරයක් තුළින් වසර 30කට අධික කාලයක් ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන ආ බවත්ය.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කිරීම සඳහා මින් පෙර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ලබා ගෙන ඇති සමාගම සඳහා වෙළෙඳ සංගම් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළ එම වෙළෙඳ ප්‍රජාව මෙහිදී අමාත්‍යවරයාට චෝදනා කර ඇත්තේ එම කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ සමාගමේ නාමයද ඉතා සූක්ෂම ලෙස වෙනස් කර නව සමාගමක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇති බවය.

මේ සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැති බවත් ඔවුන් අමාත්‍යවරයා වෙත චෝදනා කර තිබේ.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර 29ක කාලයක් තුළ රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකරමින් මේ වන විටත් කළමනාකරණ භාරයේ රුපියල් කෝටි 25ක මුදලක් ඉතිරි කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව ගොවි ජනතාවට පොලී රහිත ණය, බීජ ආදි එළවලු වගාව සඳහා වියදම් කරමින් මෙම ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් එවැනි අවස්ථාවක කිසිදු ආකාරයෙන් නොදන්නා සමාගමකට තම අයිතිය ලබා දීමට සූදානම් නොමැති බවත් වෙළෙඳ ප්‍රජාව විසින් අමාත්‍යවරයාට පවසා තිබේ.

මේ සඳහා අමාත්‍යවරයාද ප්‍රති උත්තර ලබා දීමට සූදානම් වීමේදී ව්‍යාපාරිකයින් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති අතර මෙහිදී ව්‍යාපාරිකයින් විසින් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක  දඹුල්ලට පැමිණ මැතිවරණ පොරොන්දුවක් ලෙස තිස් අවුරුදු බදු ගිවිසුමක් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් වෙත ලබා දෙන බව පැවසූ බවය.

කෙසේ නමුත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති සමාගම සහ වෙළෙන්දන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති වෙළෙඳ නාමය අතර පරස්පරතා පවතින බවය.

මීට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලැබී ඇති සමාගමේ නාමය පසුව වෙනස් කළ බවත් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවය.  

කෙසේ වෙතත් මේ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මේ පිළිබඳව තවදුරටත් සලකා බලා සමාගම සහ ව්‍යාපාරික ප්‍රජාව සමග එළැඹෙන ගිවිමසුම් ගැන සාකච්චා කිරීමට තමන් ඉදිරි දිනයක් ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න