'මනුරාව' නීති සඟරාවේ හත්වන සංස්කරණය ජනගත කෙරේ...

'මනුරාව' නීති සඟරාවේ හත්වන සංස්කරණය ජනගත කෙරේ...

සමාජයේ යහපැවැත්ම සඳහා සෑම ආයතනයක ම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ක්‍රම සොයා ගත යුතු යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීති විද්‍යාල ශ්‍රවණාගාරයේ ඊයේ (30) පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාල නීති ශිෂ්‍ය මානව හිමිකම් ව්‍යාපාරයේ මනුරාව නීති සඟරාවේ හත්වන සංස්කරණය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා...

තීක්ෂණ බුද්ධිය සහිත පුස්තකයක්

''මනුරාව නීති සඟරාවේ 7 වන සංස්කරණයේ නිල එළිදැක්වීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම මාහට ඉමහත් ගෞරවයක් ගෙන දෙන්නක් වන අතර, ඔබ ඇමතීමට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව මම සතුටට පත්වෙමි. මෙම උත්සවය විශේෂ වන්නේ එය හුදෙක් මනුරාව නීති සඟරාව එළිදැක්වීමක් පමණක් නොව, විවිධ නීතිමය අදහස් එකතු කරන සහ ශිෂ්‍යත්වය, පරිචය සහ උපදේශනය යා කරන අද්විතීය වේදිකාවක් මතුවීම නිසා ම ය. මනුරාව නීති සඟරාව, වෙනත් ක්ෂේත්‍රවල කලාතුරකින් දක්නට ලැබෙන ඉදිරි දර්ශනය ඉදිරිපත් කරමින්, තීක්ෂණ බුද්ධිය සහිත පුස්තකයක් එළිදැක්වීම හරහා මානව සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ කාලීන විවාදය පෝෂණය කිරීමෙන් කැපී පෙනෙයි.

මෙබඳු සඟරා අවශ්‍ය ඇයි...?

මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සිදුවීම සාමාන්‍යයෙන් සාගතය, සමූලඝාතන, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වහල්භාවය වැනි හේතූන් තුළ සැඟවී ඇති අතර, ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය, ගැටුම් දේශගුණික විපර්යාස හේතුවෙන්, නිදහස සීමාකරන සහ අවස්ථාවන් සාධාරණ ලෙස බෙදා හැරීමට බාධා කරන ප්‍රතිපත්තිමය තීරණවල ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන ඇත. අපගේ සමාජයේ යහපැවැත්ම සඳහා සෑම ආයතනයක ම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට අපි ක්‍රම සොයා ගත යුතුයි. මේ ආකාරයේ සඟරා, ඉහත අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඵලදායී මාධ්‍යයක් වන අතර නව සිතුවිලි සහ සංවාද ජනනය කිරීමට උපකාරී වේ. මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය තුළ පුළුල් පරාසයක දෘෂ්ටිකෝණ පිළිබිඹු කරමින් සඟරාව පොහොසත් කරමින් තෝරාගත් තේමාවන් යටතේ රචනා සාර්ථකව ඉදිරිපත් කළ සියලුම කතුවරුන්ට මම සුබ පතන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම සඟරාව, නීතිමය භාවිතයට සහ ප්‍රතිපත්තිවලට බලපෑම් කරන අදහස් පුබුදුවන වටිනා සම්පතක් බවට පත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසුරිය, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නීතිඥ, ශෙහාන් ඩී. පෙරේරා, මනුරාව නීති ශිෂ්‍ය මානව හිමිකම් ව්‍යාපාරයේ සභාපති කාවින්ද ජයවර්ධන, මනුරාව ප්‍රධාන සංස්කාරක අශ්මිකා කරුණාරත්න යන අය ඇතුළු නීති විද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය අංශය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය.

 

manu2

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න