ලිංගික අධ්‍යාපනය කීවම බොහෝ අයට කිති කැවෙන්න ගන්නේ ඒ අය හිතන්නේ ලිංගික අධ්‍යාපනය මගින් ළමයින්ට කාම සූත්‍රය උගන්වන්න යනවා කියලා.
උගන්වනවා නම් ළමයින්ට කාම සූත්‍රය ඉගැන්වීමේ ඇති කිසිම වරදක් නෑ. හැබැයි රටේ ජනතාව කාම සූත්‍රය කියලා දැනගෙන ඉන්නෙ හැමෝම ට්‍රයි කරන්න ගිහින් කොන්ද ඇමැට්ටි කරගෙන තියෙන පොෂිෂන් ටික ගැන විතරයි. ඉතින් මම මේ ලියන්න හදන්නේ ඒ කාම සූත්‍රය ගැන නොවෙයි ලිංගික අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එක ගැන.
වාතයක් බවට පත්වූ ලිංගික අධ්‍යාපනය
මනුස්සයාට විතරක් නොවෙයි ඕනෑම සතෙකුට තියෙනවා ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රධාන දේවල් හතරක්. කෑම බීම, නින්ද හෙවත් විවේකය, ආරක්ෂාව සහ සහ ලිංගිකව හැසිරීම. හැබැයි මනුස්සයා කියන සතා දියුණුයි කියන්නේ අර හතරේ තියෙන ප්‍රාථමික උවමනාකමට වඩා එන්න එන්නම යම් යම් දියුණුවක් පෙන්වන ක්‍රම සහ චාර හොයා ගන්නවා. උදාහරණයක් විදියට ඔහේ වැටිලා නිදා ගන්නවා වෙනුවට අද වෛවාරන්න මෙට්ට කොට්ට කුෂන් රෙදි පෙරෙදි තියෙනවා. අපි පුංචි කාලේ පැදුරයි අම්මගෙ චීත්තෙයි පොරවන්න තිබුණෙ. ඒ වාගේ ඉතිං දඩයම් යුගයේ වර්ගය බෝ කරන්න විතරක් යැයි සම්මත වෙලා තිබුණු ලිංගික කාර්ය පසු කාලීනව, ඒ කීවෙ දැන් නොවෙයි රජකාලේ පවා ඉහළ වින්දනයක් ගන්න ආශ්වාදනීය දෙයක් වුණා. ඉතින් මේ ආශ්වාදනීයත්වය නිසාම මේක සංකීර්ණ වෙලා ව්‍යාකූල වෙලා අද වෙනකොට වාතයක් බවට පත්වෙලා තියෙනවා. ඒකයි බොහෝ සමාජ මේක අධ්‍යයාපනය තුළට අරං තියෙන්නේ.
ලිංගික අධ්‍යාපනය ප්‍රධාන කොටස් තුනක් යටතට
*මුල්ම එක තමයි ස්ත්‍රී පුරුෂ භාවය. what's your sex ? කියලා ඇහුවොත් උපතෙන් තමන්ට ලැබිලා තියෙන ලිංගික අවයවය අනුව කරල තියෙන වර්ගීකරණයට තමුන් කැමතියි නම් පුළුවන් ඒක කියන්න. ඒ කීවෙ තමුන්ට තියෙන්නේ යෝනියක් නම් ගැහැනු, ශිශ්නයක් නම් පිරිමි. ඒකට ඕකෙ දිග පළල අදාළ නෑ. හැබැයි අද නවීන ලෝකයේ ඕක ඔය විදියට පිළිගන්න අකමැති අය ඉන්නවා. එයාලට පුළුවන් තමන් මේ වර්ග කිරීමට අකමැතියි කියලා ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ කැනඩාවේ නම් නොටා කොටුවකුත් තියෙනවා. ස්ත්‍රී, පුරුෂ හෝ ඒ කැටගරි දෙකටම අයත් නැති අයටත් චාන්ස් එකක් තියෙනවා ඒක කියන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕනෑ දෙයක් තියෙනවා. ඒ තමයි ඔය මුල් කැටගරි දෙකට යන්න කැමති නැහැ කියන්නේ ‘ඔය කියන අවයවය නැතුව එහෙම නොවෙයි. බැරි වෙලාවත් අහන්න එපා “හෑයියා ඔයාට එහෙම එකක් නැද්ද?” කියලා. මොකද අපේ අය වැඩිපුර ඉතිං ඔය අවයවයෙ හයිය ගැන නෙ විශ්වාසය තියාගෙන ඉන්නෙ. එහෙම නොවෙයි එයාට සමාජයෙන් දෙන නාමයට එයා කැමති නැහැ. එයා ඒකට අවනත නෑ. එයාට ඒක දරා ගන්න බැහැ. මේකට හේතුව දාර්ශනිකව විග්‍රහ කරන්න ගත්තොත් ටිකක් සංකීර්ණයි. අපි මෙහෙම කියමු, යෝනිය තිබුණට සමහර ගැහැනු ළමයින්ට එයාගේ අනෙක් හැසිරීම් සේරම පිරිමි ළමයෙකුට වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ශිශ්නයක් තිබුණාට එයාගෙ පෞරුෂ ගතිලක්ෂණ ගැහැනු ළමයෙකු ගෙ වගේ වෙන්න පුළුවන්, ඒ නිසා එයා කැමති නෑ එයාව පිරිමියෙක් කියලා හඳුන්වනවාට. අන්න ඒ වගේ දෙයක්. මනුස්ස ජීවියෝ අපට කැටගරිවලට දාලා හිර කරන්න බෑ කියන එක තේරුම් ගන්න උත්සාහ කළොත් මේක තේරුම් ගන්න පුළුවන්.

*ලිංගික අධ්‍යාපනයෙ ඊළඟ එක තමයි ලිංගික නැමියාව හෙවත් what's your sexual orientation? කියන ප්‍රශ්ණෙට දෙන උත්තරය. හොඳට මතක තියාගන්න මේක අතිශය පෞද්ගලික දෙයක් හැමෝගෙන් ම අහන්න යන්න එහෙම එපා. මේ කියන්නේ අර දොරවල් වහගෙන කරන අහවල් වැඩේ ගැන තමයි. මේ කියන්නේ පුද්ගලයකු ගෙ ලිංගික ආකර්ෂණය තියෙන්නේ අර උඩ කියපු වර්ගයෙන් මොන වර්ගයේ කෙනකුට ද කියන එක.
ලිංගික ආකර්ෂණයේ නැමියාව; විවිධාකාරයි විෂමයි සහ විචිත්‍රයි
අපි හැමෝම මුළා වෙලා ඉන්න දෙයක් තමයි ලෝකේ ඉන්නෙ වර්ග දෙකයි කියලා. ඒ කීවෙ අර ශිශ්නයක් තියෙන කෙනා අනිවාර්යයෙන් ම යෝනියක් තියෙන කෙනාට විතරයි ආකර්ෂණය වෙන්නෙ සහ යෝනියක් තියෙන කෙනා ආකර්ෂණය වෙන්නෙ ශිශ්නයක් තියෙන කෙනාට විතරයි කියන එක. ලෝකෙ මෙහෙම අයට තමයි straight people එහෙම නැත්නම් විරුද්ධ ලිංගික ආකර්ෂණය තියෙන අය කියලා කියන්නේ. මේ අය තමයි වැඩිපුර ඉන්නෙ. ඒ නිසාම ලෝකෙ සමාජය හිතනවා මනුස්සයො වෙලා ඉපදෙන හැමෝම මෙහෙම වෙන්න ඕනෑ කියලා.
හැබැයි මේ මුළාව අතහැර ගන්න වෙනවා, හේතුව ලිංගික ආකර්ෂණයේ නැමියාව විවිධාකාරයි විෂමයි සහ විචිත්‍රයි. ඒක එක් පුද්ගලයෙක්ගේ ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයන් ගේ චලිතයන්ට අනුව තීරණය වන දෙයක්. සමාජයීය ප්‍රපංච හෙවත් සමාජය විසින්, ආගමික සංස්ථා විසින් සකස්කරලා දෙන ප්‍රමිතීන්ට අනුකූලව හැඩ ගැසීමට තම අභ්‍යන්තර මනෝමය සහ ජෛවීය සැකැස්ම දක්වන ප්‍රතිචාර දැක්වෙන්නෙ නැහැ.
ඒ නිසා ඔය විරුද්ධ ලිංගික ආකර්ෂණය කියන සිර කඳවුරේ හිරවෙලා ඉන්න අය තේරුම් ගන්න ඕන දෙයක් මෙන්න මේ මිථ්‍යාවෙ හිරවෙලා ඒ ගොල්ල කරන්න හදන්නේ මහා අපරාධයක් කියන එක. ඒ අයව සමාජයෙන් කොන් කරලා ඒ අයගෙ හැංගිලා තියෙන විභව දක්ෂතා රටේ සහ සමාජයේ අභිවෘද්ධියට අහිමි කරන එක. විශේෂයෙන්ම ඕක තේරුම් නොගන්නා දෙමව්පියන් තම දරුවන්ට කරන්නෙ සාපරාධී හිංසනයක්. කෙනෙක් (straight) තනි කෙළින් ම විරුද්ධ ලිංගික ද; (lesbian) එහෙම නැත්නම් තම ආකර්ෂණය ගැහැනියක් තවත් ගැහැනියකට ද; (gay) පිරිමියෙක් නම් පිරිමි යෙක්ටද; bisexual එහෙම නැත්නම් දෙගොල්ලොට ම ද; (queer) තමන් වත් දන්නෙ නැද්ද හරියටම කියන විවිධාකාර අය ඉන්නවා. ඒක තේරුම් ගන්න බැහැ තවත් කෙනෙක්ට, දෙමව්පියෙකුට, සමාජයට හෝ රජයකට හෝ ආගමකට බැහැ. හැබැයි ක්‍රිස්තියානි මූලධර්මවාදය විසින් අතීතයේ සිටම මේ නිදහස අහිමි කිරීම ලෝකයට ම ප්‍රචාරණය කළා. ලංකාවෙ අතීතයේ එවැනි තහංචි නොතිබුණු සමාජයක්. පස්සේ ඒවා තමන්ගේ සංස්කෘතික තුළට වැද්ද ගත්තා. ඒවා ලිංගික අපරාධ ලෙසින් තමුන්ගේ ආගමික සාරධර්ම වෙනස් කර ගත්තා. මේවා ලිංගික අපචාරයක් වෙන්නෙ තවත් කෙනෙක් ගෙ අකමැත්තෙන් එහෙම දෙයක් කළොත් හෝ බාල වයස්කාර දරු දැරියන් ට හිංසනය කළොත් විතරයි.

අන්න ඒ නිසයි මේවා පිළිබඳ පුළුල් අධ්‍යයනයක් ලබා දෙන්න අවශ්‍ය වෙන්නෙ.
*ඊළඟ වැදගත් එක තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙවත් gender කියන සංකල්පය. ජෙන්ඩ කියන දෙය සමාජය විසින් ක්‍රියාකාරකම් හෙවත් ජීවන පටිපාටියක් තීරණය කරනවා අපි අර මුලින් ම විග්‍රහ කරපු යෝනි ශිශ්නවල පිහිටීම අනුව. රැකියාවක් තෝරාගන්න හැටි, කතා කරන හැටි, ක්‍රීඩා කරන හැටි, සමාජයේ හැසිරෙන හැටි, ඇදුම් අදින හැටි ආදී සියලු මානව හැසිරීම් සමාජය විසින් සම්ප්‍රදායිව තීරණය කරනවා ගැහැණුන් සහ පිරිමින් ට කියලා වෙනස් ව. හැබැයි ඔය කියන හැසිරීම් වලට අනුගත වීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා රටකට සමාජයකට අහිමි වෙන දක්කෂතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ලංකාව ගත්තොත් මේක වැඩිපුර තියෙනවා දැඩි ආගමික භක්තිකයින් අතර.
ජන්ඩර් රෝල්ස් වෙනුවට මානව රෝල්ස් ඉගැන්වීම්
අනෙක මේ සමාජභාවීය ක්‍රියාකාරකම් දැඩිව බලපෑම් කරනවා ලංකාවේ සහ ලාංකික සංස්කෘතිය තුළ. පුරුෂ ලිංගික දරුවන්ට තමන්ගේ ගෙවල්වලින් තම ජීවිතයට අවශ්‍ය කරන මූලික දේවල්වල දැනුම ලැබෙන්නේ නෑ. ඉතින් කසාදයක් පවත්වාගෙන යන්න තියෙන ලොකුම බාධාව තමයි මේක. ගෙවල්වල අම්මලා පුත්තුන්ට සේරම කරලා දෙනවා. ඉතින් ලංකාවේ කෙල්ලො කියන්නේ බබා පුත්තු හදනවා කියලා. බබා පුතාල බැන්දම එක්කො අම්මා ළඟ තියා ගන්න ඕනේ මොකද gender roles වලට අනුගත වෙලා හැදිලා නැති බැඳපු නෝනා ගෙන් අම්මා කරපු සේරම බලාපොරොත්තු වෙනවා. බත් ටික පවා බෙදලා අතට දෙන්න ඕනෑ, තේ බීපු කෝප්පෙ හෝදන්නේ නෑනෙ. ඉතින් ආර්ථිකයට දායක වෙන නෝනෙක් ගෙන් අර සම්ප්‍රදායික කාර්ය පටිපාටිය ම බලාපොරොත්තු වෙනවා. ඒක එක්ක වැඩ කරන කොට අනේ ඉතින් ගැහැනු හැමෝටම අබ සරණයි. අධ්‍යාපනය තුළ ඔන්න ඕක පැහැදිලිව කියා දෙන්න වෙනවා. ජන්ඩර් රෝල්ස් වෙනුවට මානව රෝල්ස් ඉගැන්වීම් පාසැලෙන් උගන්වන්න ඕනෑ. එහෙම නැතුව නම් අද රටේ ම්ලේනියල් ලට ජෙන් ඉසෙඩ් ලබා පවුල් කන්න බැරි වෙයි.
අධ්‍යයාපනය තුළ කොහොම ද මේක කරන්නේ...?
මගේ විසඳුම් මේකයි. ඇත්තෙන්ම මේක විෂයක් විදියට විෂය මාලාව සංශෝධනය කරලා හය වසරේ ඉදළා උගන්වලා කොහෙත්ම මදි. මේ සම්පූර්ණ දැනුම හැම ගුරුවරයකුට ම දෙන්න ඕනෑ මුලින් ම. විශේෂ සාකච්ඡාව වැඩමුළු ගුරු විද්‍යාල වල පුහුණු වැඩ සටහන් කරන්න ඕනෑ. විශේෂයෙන් ම අර ගුරුවරියන්ගෙ පතිවතයි, ගෑනු ළමයින්ගෙ කන්‍යාභාවයයි විතරක් හොයන විදුහල්පතිනියන්ට මේ අවබෝධය දෙන්න ඕනෑ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් ට අනිවාර්යයෙන් ම පුහුණුව දෙන්න ඕනෑ. ඒ වාගේ ම මේ සම්පූර්ණ පාඩම සෑම විශ්වවිද්‍යාල ළමයෙකුට ම දෙන්න ඕනෑ පළමු වසරේ දී ම. මේ ගැන නාට්‍යය කවි කෙටිකතා තරග තියන්න ඕනෑ. මං හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මේක දෙන්න වෙයි. එතනින් තමයි පටන් ගන්න වෙන්නෙ. ඔය ගැන නොදන්නා අය ඒ අතරත් ඇති.
ප්‍රතිපත්තිමය මැදිහත් වීම අත්‍යවශ්‍යයි.
ඊළඟට රජයේ අවධානය යොමු වෙන්න ඕන මේ සම්බන්ධයෙන් තියෙන නීතිය සංශෝධනය කරන්න. LGBTQ ගැන තියෙන යල්පැනපු ‘දණ්ඩ නීති සංග්‍රහය’ වෙනස් කරලා රටේ සෑම පුරවැසියෙකුටම සමස්ත ආරක්ෂාව සහතික කරන්න ඕනෑ නීතියෙන්ම. අභය දානය, ඒ කීවෙ භය නැතුව ජිවත් වෙන්න තියෙන අයිතිය එන්න ඕන රජුන්ගෙන්. එතකොට ඔය අශිෂ්ට තක්කඩි කතා කියන කටවල් වහන්න පුළුවන් නීතියෙන් ම. කාවවත් රකින්න කවුරුවත් වද වෙන්න ඕනේ නෑ, තමුන්ට තමන් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්.
අපිට අපි ම වෙන්න ඉඩ දෙන්න කියලා කීවෙ ගොඩක් ඉස්සර. මට මතකයි ගීතයක්, 'අපි අපි වගෙයි' කියලා.

සුමනා විජේරත්න

