බාල සැමන් කවපු බෙලිඅත්තේ ටින් මාළු කම්හලකට සීල්

 බාල සැමන් කවපු බෙලිඅත්තේ ටින් මාළු කම්හලකට සීල්

ප්‍රමිති සහතික නොමැතිව බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු කර්මාන්තශාලාවක් වටලා ටින්කළ මාළු තොගයක් ඇතුළු ටින්මාළු නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පෙරේදා (22 වැනිදා) සීල් තැබීය.

දේශීයව නිෂ්පාදනය කර මෙරට අලෙවි කරන ටින්මාළු සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය කර ඇත. මේ අතර රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වෙළෙඳසලක SLS ප්‍රමිති සහතිකය නොමැති ටින් මාළු අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ඩී.ඒ.සී.පී. පෙරේරා ඇතුළු නිලධාරිහු වැටලීමක් කළහ.

අදාළ සැමන් වර්ගයේ SLS ප්‍රමිති සහතිකය තිබී නැති අතර පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට වෙළෙඳසලට ගෙනා ටින් මාළු තොගයෙන් ටින් මාළු 1600ක් පමණක් ඉතිරි වී තිබී ඇත. එම ටින් මාළු තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ භාරයට ගෙන තිබිණි.

අදාළ ටින් මාළු නිෂ්පාදනය කළ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තොරතුරු සොයාබලා ටින් මාළු තොගයක් මිලදී ගන්නා මුවාවෙන් නිලධාරින් පිරිසක් පෙරේදා (22 වැනිදා) එම කර්මාන්තශාලාවට ගොස් ඇත.

ග්‍රාමීයව කුඩා පරිමාණයෙන් එම කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් තිබූ අතර නිලධාරින් වැටලීම කරන අවස්ථාවේදී කාන්තාවන් පිරිසක් මාළු ටින් කරමින් සිට තිබිණි.

ටින් මාළු නිෂ්පාදනයට යොදාගන්නා මාළු ප්ලාස්ටික් බේසම් තුළ බහා තිබී ඇති අතර නිෂ්පාදනය කළ ටින්මාළු හාරදහසකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරිහු පියවර ගත්හ. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට ආසන්න බව ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ඩී.ඒ.සී.පී පෙරේරා කීය. මෙම ස්ථානයේ තිබූ ටින් මාළු ඇසුරුම් කිරීමට යොදාගන්නා හිස් ටින්, ලේබල් සහ පියන් ආදියද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්ගේ භාරයට ගැනිණි.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ටින්මාළු සඳහා එක්තරා ආයතනයකින් GMP තත්ත්ව සහතිකය ලබා දී ඇති බවත් එය ද ව්‍යාජ සහතිකයක් බවට සැක කරන බවත් හෙතෙම කීවේය. රුපියල් ලක්ෂයක මුදලක් වැය කර අදාළ කර්මාන්තශාලාවෙන් එම තත්ත්ව සහතිකය ලබාගෙන ඇත. එම ආයතනයෙන් ඊට අදාළ මුදල් නැවත කර්මාන්තශාලාව වෙත ලබා දීමට පොරොන්දු වී ඇතැයි ද පැවසේ.

මේ අතර මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ටින්මාළු කොළඹ මැනිං වෙළෙඳපොළට හා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට යවා ඇතැයි ද අනාවරණය වී තිබිණි.

SLS ප්‍රමිති ලාංඡනය ලබා නොගෙන ටින් මාළු නිෂ්පාදනය, විකිණීම, බෙදාහැරීම හා ගබඩා කිරීම යන චෝදනා යටතේ ඉදිරි කාලයේදී අදාළ ටින් මාළු කර්මාන්තශාලාවට එරෙහිව නීතිමය කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි පෙරේරා පැවසීය.

(aruna | සහම්පති මානගේ - තංගල්ල)


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න