ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව පළවී ඇති මාධ්‍ය වාර්තාවලට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දෙසැම්බර් 12 වන දින 'ඉතා හදිසි' ලේබලය යටතේ නිකුත් කරන ලද ලිපියනැවත වරක් එම ආයතනය විසින් ම "ඉතා හදිසි" ලේබලය යටතේ දෙසැම්බර් 16 වන දින උක්ත ඖෂධය ඇතුළු අදාළ සමාගම හරහා ගෙන්වන ඖෂධ 10ක් රෝහල් සහ පුද්ගලික ඖෂධ සැල්වල විකිණීම වහා ම අත්හිටුවන ලෙස ලිපියක් ද නිකුත් කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දෙසැම්බර් 16 වන දින 'ඉතා හදිසි' ලේබලය යටතේ නිකුත් කරන ලද ලිපියඅත්හිටවූ ඖෂධ මිලදී ගත් ඉන්දීය සමාගම කුමක් ද?මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ භාවිතය අත්හිටුවා ඇති ඖෂධ මිලදීගත් ඉන්දීය සමාගම වන Maan Pharmaceutical Ltd යන සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට එය 2011 වසරේ ආරම්භ කරන ලද්දකි.
එහි ලිපිනය ලෙස සඳහන් වන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, අහ්මදාබාද්හි ලිපිනයකි.
තවද එම සමාගමෙන් ඖෂධ අපනයනය කරන රටවල් ලෙස පහත සඳහන් රටවල් නම් කොට තිබේ.
අයිවරි කෝස්ට්, ඝානාව, නයිජීරියාව, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංගෝව, ගැබෝන්, සැම්බියාව, කෙන්යාව සහ මැඩගස්කරය යන අප්‍රිකානු මහද්වීපයේ රටවල් ද, දකුණු ඇමරිකානු මහද්වීපයේ ඉක්වදෝරය ද, ජෝර්ජියාව, උස්බෙකිස්ථානය, ටර්ක්මෙනිස්ථානය යන මධ්‍යම ආසියාතික රටවල්වලට ද, යේමනය, ඇෆ්ගනිස්ථානය, භූතානය, මියන්මාරය, කාම්බෝජියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියාතික රටවල්වලට ද එම සමාගමෙන් ඖෂධ අපනයනය කරන බව එහි වෙබ් අඩවියේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ කුමක් ද?ඔන්ඩන්සෙට්‍රොන් නික්ෂේපණ සම්බන්ධව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, දෙසැම්බර් 16 වන දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් පවත්වන බව ය.
"මේ වන විට යම් සංකූලතාවයන් පැමිනුණේ මාන් ෆාමසූටිකල් කියන ආයතනය 2021 ඕඩර් එකකට, 2025 ලබා දීපු යම් කොටසකටත්, 2024 ඕඩර් එකකට, 2025 ලබා දුන්න ඕඩර් එකටත්... ඒ තිබුණ සාම්පල් කීපයකට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තිබුණේ, සාම්පල් 4කට. ඒ රියැක්ෂන් සම්බන්ධයෙන් NMRA ලැබ් එකේ පරික්ෂා කරගෙන යනවා. ඒ වගේම මේ මරණ දෙක සම්බන්ධයෙන් වෙන පරීක්ෂණයක් පවත්වමින් යනවා, මේ මරණ දෙකත් එක්ක තියන සම්බන්ධය මොකක් ද කියන එක ගැන," අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවක් සහ අවුරුදු 23ක් වයසැති තරුණියක් බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
'එන හැම ස්ටොක් එකේ ම සාම්පල් චෙක් කරන්න අවස්ථාවක් නැහැ'
කෙසේවෙතත් මෙරටට ඖෂධ ආනයනය කරන සෑම අවස්ථාවක ම එම තොගවල තත්ත්වය පරීක්ෂා කීරීමට මෙරට පහසුකම් නොමැති බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස තවදුරටත් කියා සිටියේ, ඖෂධය භාවිතයට ගත් විට යම් සංකූලතාවයක් ඇතිවුහොත් පරීක්ෂා කිරීම සිදුවන බව ය.
"රටට ආනයනය කරන ඖෂධවලින් 85%ක් ගෙන්වන්නේ ඉන්දියාවෙන් තමයි. NMRA එකේ ලැබ් එකේ තියෙන පහසුකම් අනුව එන හැම ස්ටොක් එකේ ම සාම්පල් චෙක් කරන්න අවස්ථාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඖෂධය භාවිතා කරමින් තිබිය දී යම්කිසි සංකූලතාවයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමයි, දැනට NMRA එකේ පරික්ෂණාගාර තුළ සිදුවෙමින් පවතින්නේ," ඔහු පවසයි.
තවත් ඖෂධ වර්ග 10ක් භාවිතයෙන් ඉවතට...? – GMOA හෙළි කරයි
වමනය සඳහා භාවිත කරන ඖෂධ වර්ගයක් (එන්නතක්) භාවිතයෙන් ඉවත් කිරීම සිදු කර ඇති මොහොතක තවත් ඖෂධ වර්ග 10ක් භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
වමනය සඳහා භාවිත කරන එන්නත ලබාගත් රෝගීන් දෙදෙනකු මිය ගියා යැයි පුවත් පළ වුව ද එම රෝගින් දෙදෙනා මිය ගිය නිශ්චිත හේතුව තවමත් පැහැදැලි නැති බවත්, ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් මෙහි දී වෛද්‍ය චමිල් විජේසිංහ පැහැදිලි කළේ ය.
'නිෂ්පාදනයේදීම ප්‍රමිතියට හානියක් වෙලා ද සොයා බැලීම වැදගත්'
වසරකට මෙවැනි සිදුවීම් 100ක් පමණ වාර්තා වන බවත් ප්‍රශ්නගත ඖෂධය රට තුළට පැමිණෙන අවස්ථාව වන විටත් ප්‍රමිතියේ ගැටලුවක් තිබුණා දැයි සොයා බැලිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
"මේ ඖෂධය නිෂ්පාදනයේදීම මේ ප්‍රමිතියට හානියක් වෙලා ද කියන කාරණය සොයා බැලීම තමයි වැදගත් වෙන්නේ. මොකද යම් අවස්ථාවකදී ඖෂධ ගබඩා කිරීමේ තත්ත්ව වල ගැටලු නිසා මේ ප්‍රමිතියට හානි වෙන්න පුලුවන්, ඖෂධ ප්‍රවාහනයේ දී ගැටලු මතු වෙන්න පුලුවන්, ඒ දේශියව දකින දේවල්. නමුත් ඖෂධය රට ඇතුළට එනකොට ම මේ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන්, නැතිනම් ඖෂධයේ අන්තර්ගතවෙලා තියෙන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙලා ද කියන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීම වැදගත්," යැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේය.
"ඒ වගේ ම තමයි සාමාන්‍යයෙන් ඖෂධය රට තුළට එනකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාර හරහා මේ පරීක්ෂණ සිද්ධ කරනවා. එතනදී මේ ඖෂධය පරීක්ෂාවට භාජනය වුණා ද, එහෙම වුණා නම් යම් ගැටලුවක් හඳුනගත්තා ද, එහෙම ගැටලුවක් හඳුනාගන්න හැකියාවක් ලැබුණේ නැද්ද, මම හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ඉදිරියේ දී පිළිතුරු ලැබිය යුතුයි," යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරාමිතීන්ට අනුව, ජාතික තත්ත්ව නියාමන රසායනාගාරයක් පිහිටුවීම මෙන් ම, මෙවන් අන්දෝලනාත්මක සිදුවීමක දී ජනතාවට ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීම ද ඉතා වැදගත් බව අවධාරණය කරන රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ හරහා මෙවැනි ගැටලු සම්පුර්ණයෙන් නිරාකරණය කර ගත හැකි බව ද පැවසීය.