මේ රජය දිව දෙකේ රජයක් බවත්, මේ අය වැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා අතර ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රජයට සම්බන්ධ අයත් කුඩු ජාවාරමට සම්බන්ධ යි
''ඊයේ (07) ඉදිරිපත් කළ අයවැය මහපොළොවේ සිට හදපු එකක් නෙවෙයි. අද රටේ ජනතාව ඛේදනීය තත්ත්වයන් රැසකට මුහුණ දෙනවා. දුප්පත්කම වැඩි වෙලා විරැකියා වැඩි වී කර්මාන්ත පද්ධතිය කඩා වැටිලා. රටේ දළ දේශීය නිෂ්පාදනයට 50% දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජන ජීවිත අඩාල වෙලා. ඔවුන් රැකගන්න මේ රජයට නොහැකි වී තිබෙනවා. අද ගොවි ගැටලුවලට, ධීවර, කම්කරු, ස්වයං රැකියා ලාභීන්න්ට, විරැකියාවේ සිටින උපාධිධාරීන්ට, කිසිම විසඳුමක් නොමැතිව අද අනාථ වෙලා. මෙවර අයවැය: පචයෙන්, බොරුවෙන්, මංමුළාවෙන්, ඇන්දවීමෙන්, පැවත්ම ඉදිරියට ගෙන යන අයවැයක්.
ජනාධිපතිවරයා රට ගොඩනගන්න නිති රිති රාමුවක් නිර්මාණය කරන බව පැවසුවා. අද වන විට රජයට සම්බන්ධ අය කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇති අවස්ථාවේ පොලිස්පතිවරයා මේ සම්බන්ධ තොරතුරු මාධ්‍යට නොදෙන්න චක්‍රලේඛ නිකුත් කරලා. එදා රජය කුඩු ජාවාරම ගැන මාධ්‍ය සංදර්ශන කළත් අද මාලිමා රජය කුඩු ජාවාරමට හසුවූ පසු මේවා සඟවන්න කටයුතු කරනවා.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ බොරු වට්ටෝරුවක්
මේ අයවැයේ යෝජනාවලට වෙන් කර ඇත්තේ සොච්චම් මුදලක්. 2025 අයවැය වෙන් කරන විට එම වෙන් කරපු මුදල්වල ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු වුනත් එය තවමත් ඉදිරිපත් කර නැහැ. ඒවාට පිළිතුරු නොදුන් මුදල් ඇමතිවරයා හෙවත් ජනාධිපතිවරයා අද බොරු වට්ටෝරුවක් ඉදිරිපත් කරලා. මේ අය නැවත නැවතත් ජනතාව රවටනවා. තවමත් රජයට හිතක් පපුවක් නැහැ. කිසිම සංවේදී භාවයක් නැහැ.

