එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සතියේ සිකුරාදා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත පැමිණෙන්නේ තායිලන්ත රටේ මව් රැජින වූ අභාවප්‍රාප්ත සිරිකිට් රැජිණිය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහායි.
තායිලන්ත රැජින වෙත පුෂ්පෝහාර
සිකුරාදා උදෑසන තානාපති කාර්යාලයට පැමිණි වජිර රැජින වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නන් තම ශෝකය පළ කරන පොතෙහි සටහනක් ද තබමින් රැජින වෙත පුෂ්පෝහාර ද දක්වනවා. ඉන් අනතුරුව මෙරට තායිලන්ත තානාපතිතුමා සමග ද සුහද සාකච්ඡාවට එක්වෙමින් තම ශෝකය ඔවුන් වෙත පළ කර සිටිනවා. වජිරත් සමග මේ සඳහා තම වැඩිමහල් පුතු වන තීක්ෂණ අබේවර්ධනද එක් ව තිබෙනවා.

එතැනින් නික්මුණු වජිර ඉන් අනතුරුව පැමිණෙන්නේ කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලය වෙතයි. එහි දී රනිල් වික්‍රමසිංහ මුණ ගැසී කරුණු කාරණා කිහපයක්ම සාකච්ඡා කොට තිබෙනවා. ඒ අතරට ඊට පෙර දිනයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කමිටුවේ සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ වෙනුවෙන් සූදානම් කර ඇති රැස්වීම් 1000 පිළිබඳ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ශාඛා කමිටු පිහිටුවීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී සුමන ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ දේහයට අවසන් ගෞරව
පැය දෙකක පමණ කාලයක් මල් පාර කාර්යාලයේ රැඳි සිටි වජිර ඉන් අනතුරුව පැමිණෙන්නේ මීගොඩ ශ්‍රී සුමනාරාමය වෙතයි. ඒ, එම විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ මහා විහාර වාංශික ශ්‍යමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ සියනෑ හේවාගම් හාපිටිගම් කෝරළත්‍රයේ ප්‍රධානි අධිකරණ සංඝනායක සද්ධර්මකීර්ති අපවත්වී වදාළ ශ්‍රී සුමන ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යි.

මෙවරත් උසාවියේ විදුලිය බිඳ වැටේ
මේ අතර පහුගිය අඟහරුවාදා දින කොළඹ මල් පාර කාර්යාලය වෙත පැමිණෙන්නට වජිර සූදානම් වී සිටින අතරතුර වජිරට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ තම හිතවතෙකුගෙනි.
''සර් චරිත රත්වත්තේ මහතාව ඇරෙස්ට් කරලා."
මෙම ඇමතුම ලැබුණු වහාම වජිර මේ ගැන සොයා බලා ඉක්මනින් ම මල් පාර කාර්යාලයට පැමිණෙන්නේ නායක රනිල් දැනුවත් කර මෙයට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.
කෙසේ වෙතත් වජිර මල්පාර කාර්යාලයට පැමිණෙන අතරතුර ම පක්ෂයේ නීතීඥවරු සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමින් මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන කතා කර තිබෙනවා. මල් පාර කාර්යාලයට පැමිණ වජිර වහාම තම නායක රනිල් මුණගැසී මේ ගැන කතිකා කරගත් අතර නායක රනිල් වජිරට උපදෙස් ලබා දී ඇත්තේ මේ පිළිබඳ සොයා බලමින් එතුමන්ට ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස යි.
නායක රනිල් ප්‍රකාශ කළ ආකාරයට ම වහා ක්‍රියාත්මක වන වජිර අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා වහා පිටත්ව ගිය අතර නඩු කටයුත්ත සිදුවන කොළඹ අලුත් කඩේ උසාවිය වෙත ද පැමිණෙනවා. උසාවි භුමිය වෙත සවස 2.30 පමණ රත්වත්තේ ගෙන ආවත් උසාවි භූමියේ සිදු වූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් නඩුව පැය 3 ක පමණ කාලයක් පුරා ඇසීමෙන් අනතුරුව රත්වත්තේට ඇප ලබාදීමට කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය සේවකයින් හැසිරවිය යුත්තේ පරිස්සමින්
කෙසේ වෙතත් විශේෂ නඩු කටයුත්තක් වූ බැවින් මාධ්‍යෙව්දීන්ද මෙය ආවරණය කිරීම සඳහා උසාවිය අසලට රැස්ව සිටි අතර වජිර පැමිණෙන විට ඔවුන් වජිරට මයික් දිගු කරන්නේ මේ සමබන්ධ නිවැරදිම තත්ත්වය දැනගැනීම වෙනුවෙනි.
''සර්, මොකද වුණේ?''
මාධ්‍යවේදීන් අසන්නට විය.
“මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව ඇති කිරීමටත්, එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙකු වනවා. එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියෙකු ලෙසයි අප දැන හඳුනාගෙන සිටින්නෙ. රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා. රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණවල දී රජයට ලාභයක් සිදු වූ විට ස්තූති කරන්නේ නැහැ. එසේම රජයට වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබා දෙන්නේත් නැහැ. සත්භාවයෙන් ගන්නා තීරණවල දී සිදුවන පාඩු ගැනද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතුයි කියන එකයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිවරයෙකු ලෙස මට ප්‍රකාශ කරන්න තිබෙන්නෙ. විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයින් බොහොම සංවේදී පුද්ගලයන් නිසා පරිස්සමින් හැසිරවීම කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මා මතක් කරනවා.
මාධ්‍යවේදීන්ට උත්තර දීමෙන් පසු වජිර එම ස්ථානයෙන් පිටත්ව යන අතර මේ සඳහා මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.


