එදා තමන් පාසල්වලට පරිගණක සුහුරු පුවරු ලබා දෙන විට ඒවා විවේචනය කර සමච්චල් කළ ආණ්ඩුවට අද ඒවා කළ නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ රාජාංගනය යාය 16-17හි පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මේ රජයේ ඉන්නේ විකෘති මානසිකත්වයෙන් පෙළෙන අය
මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩා වැටීමක් පවතිනවා. පාසල්වල පහසුකම් හිඟය, ගුරු හිඟය ඇති මොහොතක ගුරුවරුන් ලෙස කටයුතු කළ සංවර්ධන නිලධාරීන් 16200ක් අනාථ කරලා. දැවැන්ත මානව සම්පත් සහ භෞතික සම්පත් හිගයක් පවතිනවා. එදා මම පාසල්වලට පරිගණක සුහුරු පුවරු ලබා දෙන විට ඒවා විවේචනය කර සමච්චල් කළ ආණ්ඩුවට අද ඒවා කරන්න බැරි වෙලා.
මේ ආණ්ඩුව: ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, වැඩිහිටියන්ට හා දෙමාපියන්ට දරුවන් සුමගට යොමු කරන්න ඇති සත්භාවීය අයිතිවාසිකම ද උදුරා ගෙන. මේ රජයේ ඉන්නේ විකෘති මානසිකත්වයෙන් පෙළෙන අය; බවත් මොවුන් විකෘතියට මුල් තැන දෙනවා. දරුවන්ට එරෙහිව සිදු කරන ශාරීරික, මානසික දඩුවම් නීතියෙන් දඩුවම් දිය හැකි සාපරාදී ක්‍රියා වුවත් දෙමාපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට හොඳ දරුවෙක් සමාජයට ලබා දීම අහිමි කරන විකෘති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තරයේ හෙළා දකිනවා.
මේ වන විට රටේ ජනතාව, ජන සමාජය බරපතළ ලෙස අසරණ වෙලා. දකින දකින තැන වේදනාව, කලකිරීම, දුක් කම්කටොලු, ප්‍රශ්න. මේවා විසඳුම් රජය සතුව නැහැ. ගොවියාට පොහොර සහනාධාරය පවා හරියට ලැබෙන්නෙ නෑ; තෙල් පොහොර පවා ගුණාත්මකභාවයෙන් අඩුයි. රජයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා ගුණාත්මක බීජ, කලට වේලාවට පොහොර, යූරියා ආදිය නැහැ. පවතින කෘෂි උපකරණවල සහ පොහොරවල පවා මිල ඉහළ ගිහින්. අලි මිනිස් ගැටුම නිසා අස්වනු හානිය ජීවිත හා දේපළ හානිය ද වන අලි සම්පත ද විනාශ වෙනවා. මේ ගැටලු මැද අස්වැන්නට ස්ථාවර මිලක් පවා නැහැ.
මේ රජය හිතාමතාම ගොවියා විනාශ කරනවා
මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කා ගොවියා රවටා රු. 150ක ස්ථාවර මිලක් ලබා දෙනවා කියපු මැතිඇමතිවරු අද ගොවියා සතුටින් යැයි පැවසුවත් අද වී සදහා රු. 120ක ස්ථාවර මිලවත් නැහැ. අනෙකුත් භෝගවගාවලට ද කණකොකා හඬලා. ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ නොමැති නිසා කෘෂිකර්මාන්තය ද කඩා වැටිලා. මේ නිසා රජය හිතාමතාම කෘෂිකර්මාන්තය විනාශ කරන්න කටයුතු කරන බවට සැකයක් පවතිනවා.
රජය, ආර්ථික මධ්‍යස්ථාන පවා විකුණන්න සැලසුම් කරනවා
රටේ කිලෝමීටර් පහෙන් පහට වැසිකිළි හදන්න කතා කරන ආණ්ඩුවට මේ වන විට නොමිලේ හදන්න තිබෙන අලි වැටවත් ගහන්න බැරි වෙලා තියෙනවා. එම නිසා එම ව්‍යාපෘතිය පැත්තකට තබා ගොවියා ආරක්ෂා කර ගන්න කටයුතු කළ යුතු යි. මේ රජය ගොවියා මංමුළ කර අනාථ කරලා. විපක්ෂයේ සිටින විට විදේශයෙන් කිසිම දෙයක් ගෙන්වන්නේ නැති බවට පැවසුවත් මේ වන විට සියල්ල විදේශයෙන් ගෙන්වා ගොවියා රවටනවා. දැන් ආර්ථික මධ්‍යස්ථාන පවා විකුණනන් රජය සැලසුම් සකස් කරනවා.
මම ආර්ථික මධ්‍යස්ථාන බලන්න ගියාම ආණ්ඩුවේ හෙංචයියන් ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීන්ට පහර දුන්නා. ජනතාව මේ මර්දනය අනුමත කරන්නෙ නෑ. ජනතාව අපේක්ෂා කළේ මර්දනය නොවෙයි; උත්තර. රජයට මේවාට උත්තර නොමැති වුවත් සමගි ජන බලවේගයට උත්තර සහ විසඳුම් තිබෙනවා. ජනතා ප්‍රශ්නවලට උදාසීන අසලකමින් යුක්තව පැත්තකට වී නොසිට උත්තර ලබා දෙන්න කියල අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
රජය උක් ගොවියන්ට කෝටි 60ක් ණය යි
අද වන විට පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ උක් සපයන ගොවියන් පවා පාගා දමලා. මේ ගොවින්ට කෝටි 60ක් ගෙවන්න තිබෙනවා. මේ ගැටලු ගැන පාර්ලිමේන්තුවේ මතු කරන විට උක් ගොවියාට ප්‍රශ්න නොමැති බවට අමුතු උත්තර කියමින් තාවකාලික වින්දනයක් ලබා දුන්නත් අද මේ උක් ගොවියන් කර්මාන්තශාලාව වටලලා. ගොවියාට මේ ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ලක් ලබා දෙන්න ද මේ ආණ්ඩුව බිහි වුණේ කියල අපි අහනවා.
කුඩු මාෆියාව රටම වෙළාගෙන අවසන්
කුඩු කාරයෝ, කුඩුවල මහමොළකාරයන් ඇල්ලුවා කියල මාධ්‍ය ඔස්සේ කිව්වත් අද කුඩු රකුසා, මත් රකුසා දරු පරපුර ග්‍රහණයට ගෙන තිබෙනවා. මේවා ගොතපු කරුණු නෙවෙයි; ප්‍රබන්ධ කරුණු නෙවෙයි; ජනතාව පවසන දේවල්. අද දරුවන් තරුණ තරුණියන් මේ කුඩු මාෆියාවට ලක්වෙලා. මේකෙන් මොවුන් මුදවා ගැනීමට දැවැන්ත ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය යි. සිංගප්පූරුව වැනි රටවල මෙන් කුඩුකාරයන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු යි. අද අප රට කුඩු පාරාදීසයක් නිසා දැවැන්ත ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතිනවා.''