Language Switcher

Ad

Ad 01

V2025

රංග ගේ පත්වීමට එරෙහිව නන්දන අධිකරණයට - දේශපාලන චෝදනා වෙනුවට නීතිමය සටනක් අරඹයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක අතර ඇතිවු මතභේදය, තීරණාත්මක නීතිමය සහ දේශපාලන ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී.

රංග දිසානායක වෙත තියුණු පිළිතුරක් ලබා දෙමින් නන්දන ගුණතිලක ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ඔහුගේ දේශපාලන සම්බන්ධතා විවේචනය කිරීමට වඩා, අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ඔහුගේ පත්වීමේ නෛතික නුසුදුසුකම අධිකරණය හමුවේ ප්‍රශ්න කරන බවයි.

නන්දන ගුණතිලක විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපහාසාත්මක ස්වරයෙන් ස්තූතිය පුද කර තිබීම විශේෂත්වයකි.

අල්ලස් පනත සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන ආකාරය වැනි නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට තමන්ව පොළඹවන සුළු හැසිරීමක නිරත වීම සම්බන්ධයෙන් ඔහු එහිදී දිසානායකට "ස්තූතිය" පළ කර තිබිණි.

"ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර, ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි," යනුවෙන් ගුණතිලක සිය සටහනේ අවධාරණය කර ඇත.

 



මෙම විවේචනය අල්ලස් කොමිසමේ අනෙකුත් නිලධාරීන්ට අදාළ නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම රංග දිසානායකගේ "පෞද්ගලික අක්‍රමිකතාවක්" බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.





නන්දන ගුණතිලක ගේ ෆේස්බුක් සටහන මතු පළවේ.


රංග ,
නඩු දැමීම පිළිබඳව ඔබ මේ ලබාදෙන උපදෙස්වලට බොහොම ස්තූතියි.

එ මෙන්ම අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවට අදාළ පනත , අධ්‍යක්ෂක ජනරාල් ගේ පත්වීම සිදුකෙරෙන ආකාරය ආදී නෛතික කාරණා ඉතා මෑතකදී අධ්‍යයනය කිරීමට  මා පොළඹවන සුළු හැසිරීමක පසුගිය මාස දෙකක පමණ කාලයකදී නියැළීම පිළිබඳව ද ඔබට ස්තූතියි.

විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීමේදී බලපාන නුසුදුසුකම් පිළිබඳව සොයා බැලීමට තරම් වන හැසිරීමක ඔබ එකල නොයෙදීම පිළිබඳවද ස්තූතියි.

සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඉහතකී පනත් සහ එහි  කොන්දේසි පිළිබඳව සොයා බැලීමට , -  පෙර එවැනි උනන්දුවක් නොතිබූ මා හට එම උනන්දුව ඇති කිරීම ගැන නැවත වරක්  ඔබට  බොහෝම ස්තූතියි.

ඒ නිසා ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර , ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි.

ඔබේ නුසුදුසුකම පිළිබඳව  මා කල විවේචනය සහ ඔබේ පත්වීම පිළිබඳව ඇති නියත නෛතික නුසුදුසුකම පිළිබඳව වෙනත් පුද්ගලයන්ගෙන් සහ සමාජයෙන් පැනනැගුනු චෝදනා අල්ලස් හා දූෂණ කොමිසමේ අනෙක් නිලධාරීන්ට කිසිසේත්ම අදාළ නොවන බවත් එය තනිකරම ඔබේ පෞද්ගලික අක්‍රමිකතාවක් බවත් නැවත උදක්ම කියා සිටිමි ...!!!






උපක්‍රමික මාරුව සහ ගොඩනැගෙන සන්ධානය


නන්දන ගුණතිලක මහතාට සමීප ආරංචි මාර්ග හෙළිදරව් කරන්නේ මෙය හුදු ප්‍රතිචාරයක් නොව, සැලසුම් සහගත උපක්‍රමික මාරුවක් බවයි.

රංග දිසානායක මහතාගේ ජවිපෙ දේශපාලන සම්බන්ධතා පිළිබඳ චෝදනාවට සීමා නොවී, ඔහුගේ පත්වීමේ නීත්‍යානුකූලභාවය සහ ධුරයට ඇති සුදුසුකම අභියෝගයට ලක් කිරීම තුළින්, මෙම ගැටලුව පෞද්ගලික දේශපාලන විවේචනයකින් ඔබ්බට ගෙන ගොස්, ශක්තිමත් නීතිමය පදනමක් මත ස්ථාපිත කිරීමට ගුණතිලක මහතා අපේක්ෂා කරයි.

පිටතට තනි පුද්ගලයෙකු ලෙස පෙනී සිටියද, නන්දන ගුණතිලක මහතා හට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයින්ගේ සහ ප්‍රබල දේශපාලන පාර්ශ්ව රැසක සහාය හිමිවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජවිපෙ හිටපු සාමාජිකයින් වන විමල් වීරවංශ, වරුණ රාජපක්ෂ, කැලුම් ජයසුමන, අචල ජාගොඩ වැනි අය රැසක් මේ වනවිටත් ඔහු වටා එක්වෙමින් සිටින බව වාර්තා වේ.

 මීට අමතරව, එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දේශපාලන කඳවුරුවල  සහායද ඔහු වෙත ලැබෙමින් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


IMAGE

ඒ අනුව, ඉදිරි කාලය තුළ මෙම ගැටුම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ එහි ඉහළ නිලතල සඳහා වන පත්වීම් පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය කරනු ඇති අතර, එය තීරණාත්මක නීතිමය මෙන්ම දේශපාලන සටනක් බවට පත්වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.