Language Switcher

Ad

Ad 01

V2025

පනත සම්මතයි : මහින්ද අද කාල්ටන් නිවසට - චන්ද්‍රිකා හොරගොල්ලට !

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වී සුළු වේලාවකින් කතානායකවරයා සහතික කළ අතර, ඒ අනුව එම පනත ඊයේ දිනයේ (සැප්තැම්බර් 10) සිට ම බලාත්මක වේ.


ඒ අනුව, එම පනත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය.

විපක්ෂයේ චාමර සම්පත් මන්ත්‍රීවරයා පමණක් ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද භාවිත කරන විට විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටියේ නැත.

පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 151කගේ ඡන්දයෙන් සම්මත විය.

මෛත්‍රී කලින් ම ගිහින්...

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර පෙරේදා (සැප්. 9) දිනයේ ම නිල නිවසින් පිටව ගිය බව ඔහුගේ සමීපතමයෙක් පැවසීය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඇතැම් බඩුබාහිරාදිය ඉවත් කරගෙන බත්තරමුල්ලේ පිහිටි නිවසකට පිටව ගියේ යැයි ඔහු කීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ වන විට රැඳී සිටිනුයේ තම පෞද්ගලික නිවසේය.

පෞද්ගලික නිවසේ සිටි හිටපු ජනපති ගෝඨාභය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරය දරන සමයේ පවා නිල නිවස භාවිත නොකළ බව මෙන් ම දැනටත් ඔහු රැඳී සිටිනුයේ පෞද්ගලික නිවසේ බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වූ එරන්ද ගිනිගේ බීබීසි සිංහල සේවයට පවසා ඇත.

"ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ පළවෙනි දවසේ ඉඳලා හැම දා ම වැඩට ආවේ තමන්ගේ පෞද්ගලික නිවසේ ඉඳලා."

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ විරෝධතාවලින් පසුව ආරක්ෂක අංශවල ඉල්ලීමට අනුව ඔහු ජනාධිපති මන්දිරයට පැමිණි බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ මාස කිහිපයක් බව ද එරන්ද ගිනිගේ පවසයි.

හිටපු ජනාධිපතිවරුන් අතරින්, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පමණක් මේවනවිටත් රජයේ නිල නිවාස භාවිත කරමින් සිටී.

මහින්ද කාල්ටන් නිවෙසට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අතර බීබීසි සිංහල සේවය කළ විමසීමකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා නිල නිවසින් පිටවීමට සූදානම් වන බව ය.

"අද හෝ හෙට ඇතුළත මහින්ද ජනාධිපතිතුමා නිවසින් ඉවත් වෙයි. ඊට පස්සේ භාණ්ඩ ලේඛන ගත කරලා ඒ සියල්ල නීත්‍යනුකූලව පිළිවෙළක් කළාට පස්සේ අපි සතියක් වගේ කාලයක් ඇතුළත නිවස භාර දෙන්න බලාපොරෙත්තු වෙනවා."

හිටපු ජනාධිපතිවරයා මැදමුලන කාල්ටන් නිවසට යන බවත්, ඉන්පසු ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා හොරගොල්ලේ නිවසට...

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවයට පවසා තිබිණ.

"එතුමිය බඩු ඉවත් කර ගන්න පටන් අරන් තිබුණේ. සති දෙක තුනක් වෙද්දි ඉවත් වෙන්න පුළුවන් වෙයි," එම ප්‍රකාශකයා කියා ඇත.

'විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පනත කිසිදු අදාළත්වයක් නෑ'

මෙම පනත හරහා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව කිසිදු අදාළත්වයක් නැතැයි පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ ය.

"මේ පනත කිසිදු අදාළත්වයක් නෑ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ආරක්ෂාව වෙන ම සපයලා තියෙනවා. සපයපු ආරක්ෂාව සම්බන්ධව සමහර අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් සපයලා තියෙන ආරක්ෂාව සම්බන්ධව සෑහීමකට පත් වුණා. දැන් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. යමෙකුට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම්, ආරක්ෂක තර්ජනයක් තියෙනවා නම්, ආරක්ෂක අවදානම් තියෙනවා නම් ඒ පිළිබඳ ආරක්ෂක අවදානම් කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට කරුණු ඉදිරිපත් කරපුවා ම ආරක්ෂාව ලබා ගන්න පුළුවන්."

විශ්‍රාමික ජනාධිපතිවරුන් වසරකට රුපියල් කෝටි 9ක්

ජනාධිපතිවරුන්ගේ පනත යටතේ විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් වෙනුවෙන් පසුගිය වසරේ වැය කරන ලද මුදල් සම්බන්ධයෙන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

"පහුගිය අවුරුද්ද ගත්තොත්, 24 වර්ෂය තුළ, විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණිය පහුගිය අවුරුද්ද තුළත් මේ හිමිකම් පනත යටතේ ගැනෙන කාරණා සඳහා රජය වැය බරක් දරලා තියෙනවා. විසි හය ලක්ෂ අනූ පන්දහස් හයසීය අනූවක්. විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට එක් කෝටි දාසය ලක්ෂ හැට හතරදාස් තුන්සීය හතලිස් අටක්. විශ්‍රාමික ජනාධිපති මහින්ද රජපක්ෂ මහත්මාට පන් කෝටි හතලිස් හය ලක්ෂ පනස් දෙදාස් නවසීය අනූවක්. විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මාට එක් කෝටි පනස් හත් ලක්ෂ හැත්තෑ දෙදාස් හාරසිය පනහක්. විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එක් කෝටි දෙලක්ෂ විසිදෙදාස් අටසිය අසූ එකක්. විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිස් හතර ලක්ෂ අනූ දෙදාස් තුන්සීය නමයක් වශයෙන් රුපියල් නම කෝටි අසූපන් ලක්ෂ හතලිස් අටදාස් අටසිය තිස් නමයක මුදලක් වැය කරලා තියෙනවා."

 




වත්මන් 'ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ එතුමාට මේකේ තියෙන බරපතළකම වැටහේවි'

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහුට මේ පනතේ බරපතළකම වැටහෙනු ඇතැයි සමගි ජන බලවේගයේ ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් විශ්වාසය පළ කළේ ය.

"ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව, ජනාධිපතිවරුන්ගේ පවුලේ ආරක්ෂාව, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි ඒ තනතුර පවත්වාගෙන යනවා නම් යා යුතු යි. ඉවත් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙවර ජනවරම ඔබට හිමි වෙලා තියෙන්නේ ඒවා ඉවත් කිරීමට එකඟව. ඒ නිසා ඔබලා අහෝසි කිරීම පිළිබඳව මට විවාදයක් නෑ. හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ එතුමාට මේකේ තියෙන බරපතළකම වැටහේවි සමහර විට මේ ගෙවෙන කාල සීමාව තුළ හෝ ඊළඟ එකේදී ඔබ මේ පිළිබඳ යළි යළිත් සාකච්ඡාවට ගනීවි කියලා මම හිතනවා."


රජය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට එරෙහිව පාර්ශ්ව රැසක් ම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ නමුත් එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේ ය.

මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම ඇතුළු පිරිසක් විසිනි.

කෙසේ වෙතත්, එසේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංග කටයුතු නොකලේය.

හිටපු ජනාධිපතිවරුන් සමග එක්ව ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට මාධ්‍ය වාර්තා පළ වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් පළ කරමින් පැවසුවේ, එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට ඇය සම්බන්ධ වී නොමැති බව යි.


(මුලාශ්‍ර - බීබීසී සිංහල)

සබැඳි පුවත් :

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මතයි

 

The leader.lk