Language Switcher

V2025

විමල්ගේ පළුවක් ආණ්ඩුවට : ඩලාගේ පළුවක් සජබ ට !

සමහර කෑලි තියෙනවා කොහෙත්ම හලන්න බැරි. කපලාවත් අයින් කරන්න බැරි. නැකත් කියන්නෙත් එහෙම දෙයක් . විශේෂයෙන් දේශපාලනඥයින් ට. ඉතිං මේ පාර, මැදියම් රැයේ යෙදී තිබුණු අවුරුදු නැකැත් නිසා වැඩිපුරම කලබලවෙලා තිබුනේ දේශපාලනඥයෝ.

කොයි නැකත සුබ වෙයිද කියලා දැනගන්න විදියක් නැතුව බොහෝ දේශපාලනඥය නැකැත් දෙකටම කිරි උතුරුවලා,. ඒ අතරේ සමහරු ගම්බිම් බලා ගියත් තවත් දේශපාලනඥයන් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුදු නිවාඩුව වෙනුවෙන් රට රටවල විනෝද චාරිකා යොදාගෙන තිබුනා.

ඔන්න එහෙම රටගිය ඇත්තෝ ඊයේ පෙරේදා වෙනකොට ආයෙමත් එන්න පටන් අරන්.. ඒ ආපු වෙලාවේ ඉඳලා , එහෙමෙහෙ දුවන්නේ කොහොම හරි මැයි දිනේ ගොඩ දාගෙන තමතමන්ගේ හයිය පෙන්නන්න.

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ තමන්ගේ මැයි දින රුලි පැවැත්වීමට ස්ථාන වෙන්කර ගැනීම සඳහා ඉකුත් සතියේ කටයුතු කරමින් හිටියා. මේ අතර බොහෝ දේශපාලන පක්ෂ මහා මාර්ග ඇතුළු ප්‍රධාන ස්ථානවල සිය මැයි රැලි පැවැත්වීම සඳහා අවසර ඉල්ලා තිබුනා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීම පිළිබඳ අවසන් තීන්දු අරගෙන.

මෙහිදී බොහෝ පක්ෂ මැයි රුලි පැවැත්වීම සඳහා මහා මාර්ග ඉල්ලීම සුවිශේෂී තත්ත්වයක් . ඒ අනුව, ජාතික ජන බලවේගයට නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයක් කොළඹ මැයි රැලිය වෙනුවෙන් ලැබිලා. සමගි ජන බලවේගයේ ඉල්ලීමත් ඉටු වෙලා.

සමගි ජන බලවේගය මෙවර ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්විය යුතුය යන හැඟීමෙන් බරටම වැඩ. ලක්ෂයකට අධික පිරිසක් සිය මැයි රැලියට ගේනවා කියලා , සජබ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී මරික්කාර් කියනවා.

මේ අතර පොහොට්ටුවේ මැයි රැලිය සඳහා කැම්බල්පිටිය වෙන්කරගෙන. ඔවුන්ද සිය හයිය පෙන්වීමට මෙවර මැයි රැලිය යොදාගෙන..

“තිස්සෙන් එහෙම කට්ටිය ගේන්න සෑහෙන්න වියදමක් දරන්න වෙනවා. බස් එකකට ලක්ෂයකට අධික වියදමක් යනවා."

පසුගිය හිස තෙල් ගාන නැකැත යෙදුණු දා ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවක නාමල් රාජපක්ෂ කියලා .

“අපි නම් මේ පාර මැයි දින රැලි හතරක් සංවිධානය කරනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් අපිට නෑ." - ආරංචි අනුව නලින්ද , නාමල්ට කියලා.

ආරංචි විදියට UNP එකත් මෙදාසරේ ලොකුවටම බැහැලා .. බස් 2000 ක් සෙනග ගෙන්න වජිර බාර අරගෙන ලු. කොළඹින් 50,000 විතර ගේන්න රවී ට කියලා .

ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන ජනාධිපතිවරයා, මැයි මස මැදදී සිය අපේක්ෂකත්වය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කරන්න යනවා කියලත් රාවයක් යනවා.

ඔන්න ඒ අස්සේ, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් ඉදිරි මැයි දිනය කිරුළුපණ ක්‍රීඩාංගණයේ දී එකතුවෙලා තියන්න සැලසුම් කරලා .

මුලදී ඒ සඳහා සහභාගි වන බවට සූදානමක සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් අරගෙන නෑ කියලයි ආරංචිය .

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (22 වැනිදා) නිදහස ජනතා සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි කියලත් වාර්තා වෙනවා .

දයාසිරි ජයසේකරගේ ‘මානුෂීය ජනතා සන්ධානය’ හා විමල් වීරවංශගේ උත්තර ලංකා සභාවේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවකුත් අද ම දාගෙන කියලත් ආරංචියි.

ඔය විමල්ලාගේ කණ්ඩායම් සියල්ල එකතු වී ඉදිරි මැතිවරණයන් සඳහා මුහුණ දීමට නව සන්ධානයක් පිහිටුවීම ගැනත් මේවෙනකොට සාකච්ඡා පවත්වමින් ඉන්නවා.

නමුත්, විමල් පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ වෙත ත්, ඩලස් පාර්ශවයේ ඇතැමුන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වෙතත් සහය පලකිරීමේ සුදානමක් ගැනත් කනින් කොනින් වාර්තාවෙනවා.

තත්ත්වය සමනය කිරීමට නම් ඉහත නම් සඳහන් නොකෙරුන පුද්ගලයෙකු පොදු අපේක්ෂක ලෙස වරම් ගැන්විය යුතු බවටද මේ සෑම පාර්ශවයකම අවධානය යොමු වෙලා.

ඔය විදියට බලනකොට එළඹෙන මැයි මාසය ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ තීරණාත්මක මාසයක් වෙන්න නියමිතයි .

එසේම ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිල දේශපාලන මෙහෙයුම් රැසක් මැයි මාසය තුළදී ආරම්භ වෙන්න නියමිතයි කියලත් වාර්තා වෙනවා.

මේ අහන්න දකින්න තියෙන ඒවා එක්ක ඉතිං , පක්ෂ විපක්ෂ කස්ටිය හැරෙන්නේ මොකකටද කියලා තේරුම් ගන්න අමාරු නෑ . කාගෙත් ට්‍රයි එක මැයි දිනය පදනම් කරගෙන හොඳ පොලිටිකල් මොරාල් බූස්ට් එකක් ගන්න . ඒ ගැම්මෙන් 2024 ජනාධිපතිවරණය ගොඩදාගන්න .