Language Switcher

V2025

මියන්මාර සයිබර් ජාවාරම්කරුවන් අතේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාරයේ වංචනික සයිබර් ව්‍යාපාරවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ ජාවාරම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ආපසු සියරට බලා පැමිණ තිබේ.

 ඡාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, සාර්ථකව පහසුකම් සලසා තිබිණ.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම අනුව නීතිය බලාත්මක කිරීමේ මියන්මාර බලධාරීන් විසින් 2024 අප්‍රේල් 4 වැනි දින මෙම ශ්‍රී ලාංකිකයන් මුදාගන්නා ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් 2024 අප්‍රේල් 11 වැනි දින තායිලන්තයේ මෑසොට් දේශසීමා ද්වාරයේදී ඔවුන් භාරගනු ලැබු අතර ඉන් අනතුරුව බැංකොක් නුවර වෙත කැඳවාගෙන එනු ලැබූ ඔවුන්, සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහය ඇතිව මෙරටට පැමිණියේය.

ඔවුන් ජාවාරම්කරුවන්ගෙන් මුදවා ගනු ලැබ මියවඩි පොලිස් ස්ථානයේ තාවකාලිකව රැඳී සිටි කාලය තුළදී, මියන්මාරයේ පිහිටි ඊඩ්න් පදනම නමැති පුණ්‍යායතනය මඟින්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔවුන්ට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපයා දී ඇත.

අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදුත අංශය මෙම පිරිස ආපසු සියරට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ අතර, එම අමාත්‍යාංශයේ ප්‍රදුත අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එස්.කේ.සෙනවිරත්න බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම ශ්‍රී ලාංකිකයන් අට දෙනා පිළිගත්තේය.

තමන් ශ්‍රී ලංකාව වෙත ආරක්ෂිතව නැවත පැමිණීම සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දරනු ලැබූ අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව මෙම ශ්‍රී ලාංකිකයෝ සිය ඉමහත් ප්‍රසාදය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලබාදුන් සහය වෙනුවෙන් මියන්මාර සහ තායිලන්ත රජයන්ට මෙන්ම සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කර සිටි.

(චතුරංග මේදිස්)