ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් !

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් !

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මහ කන්නයේ නෙලාගත් වී අස්වැන්නෙහි නොඉඳුල් සහලෙහි අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් 57 වන වරට සංවිධාන කර තිබිණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවා" යි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණ.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට චාරිත්‍රාණුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්විය.

ජාතික අලුත් සහල් මංගල්‍යයේ සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ නායක පුංචිරාළ ගොවි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කෘෂිකර්ම යෝජනාවලියක් ද පිළිගන්වන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මී පැණි පිළිගැන්වීම ආදිවාසි නායක වන්නියලැත්තන් විසින් සිදු කළේය.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද අදහස් දැක්වීය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ , උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී හේරත්, ෂෙහාන් සේමසිංහ, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක,ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී.හැරිසන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද ආදිවාසි නායක වන්නිලාඇත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240406 WA0017

IMG 20240406 WA0018

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න