Language Switcher

V2025

රට ගොඩ ගන්න පුළුවන් රනිල්ට : සැබෑවේ රැලියේ රවී සැරටම කියයි !

1948 දී ඩී.එස්. සේනානායක නිදහස් කරදුන් රට ,1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය සමඟ සංවර්ධන මාවතට යොමුකළ රට 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ ගොඩගැනීමට සමත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ ඇදවැටී තිබූ රට ගොඩ ගැනීමට කවුරුත් ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියෝගය බාරගෙන රට ගොඩනැගූ පසුව විවිධ පාර්ශ්ව රට බාරදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වී ඇති බවද සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද (10) කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ " සැබෑව " ජන රැලිය අමතමින්ය .

මෙම ජන රැලිය එක්සත් ජාතික පක්ෂයේ උප නායක , හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සංවිධානය කර තිබූ අතර, එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ නායක මට්ටමේ සියලු දෙනා ඊට සහභාගි ව සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් රැසකගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගොස් තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය .

" දැන් සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නේ කියලා . එහෙම අහන අය මෙතනට ආවානම් බලාගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා .

2019 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් පරාජය වුනේ ලක්ෂ 13කින්. නමුත් එක්සත් ජාතික පක්ෂය බිදගෙන ගිහින් මහ මැතිවරණයේදී ලබාගත්තේ ලක්ෂ විසි ගණනක් පමණයි . ඒ කියන්නේ එදා ගත්ත ඒ තීන්දුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිළිගත්තේ නෑ . ඔවුන් කළකිරුණා.

1948 දී ඩී.එස්. සේනානායක නිදහස් කරදුන් රට ,1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය සමඟ සංවර්ධන මාවතට යොමුකළ රට 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ ගොඩගැනීමට සමත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් .

එදා ඩොලරය රුපියල් 375 ට ගියා. අද වෙනකොට රුපියල් 307 ට අවප්‍රමාණය වෙලා තියෙන්නේ . හෙට අඅනිද්දා වෙනකොට ඒක දෙසිය ගණනට අඩු වෙනවා. එතකොට ජනතාවට බලාගන්න පුළුවන් ජීවන වියදම අඩුවෙන බව.

එජාපය වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ . රටට අවශ්‍ය මොකක්ද , ඒ වෙනුවෙන් තමයි තීන්දුව ගන්නේ .

බොරුවට ආයුෂ තියෙන්නේ සත්‍ය අනාවරණය වන තුරු පමණයි. දැන් තවත් බොරු කරන්න එපා. නූතන ආර්ථික රටාවට මේ රට ගෙනියන්න ඕන . තරගකාරී ආර්ථිකයක් රටේ ඇතිකරන්න ඕන. කෘෂිකර්මය නවීකරණය කරන්න ඕන . නිෂ්පාදන සහ සේවා අංශය ඔස්සේ ආර්ථිකය ගොඩනගන්න ඕන. ඒ වැඩපිළිවෙළ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරගෙන යනවා. එයින් තමයි රට ගොඩනගන්න පුළුවන් .

ආර්ථික පීඩනයෙන් ඉන්න ජනතාව ලක්ෂ 24 කට, අස්වැසුම දෙනකොට , ඉඩම් ඔප්පු නැති ජනතාව ලක්ෂ 20 කට උරුමය වැඩසටහන හරහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙනකොට, තරුණ ප්‍රජාව ලක්ෂයක් ව්‍යවසායකයන් කරන්න වැඩ කරන කොට අපිට චෝදනා කරනවා අපි පෞද්ගලීකකරණය කරනවා කියලා . ඒකට ද පෞද්ගලීකකරණය කියන්නේ .

2019 දී රාජ්‍ය ආදායම් අහිමිවන ආකාරයට තීන්දු තීරණ ගන්නකොට අපි කිව්වා රටට මෙහෙම වෙයි කියලා . අපි කියූ දේ ඔප්පු වුනා. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔප්පුකර තිබෙනවා, අර්බුදයෙන් ගොඩ යන්න වගේම රට සංවර්ධනය කරන්න පුළුවන් කාටද කියලා . ඒ මග ඔස්සේ ඉදිරියට යන්නයි අවශ්‍ය. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්වෙමු.