Language Switcher

V2025

බලය ගැනීමත් රට ගොඩනැගීමත් අභියෝගයක් : 2005 ගැන අනුරගෙන් පාපෝච්චාරණයක් !

බලය ලබාගැනීම මෙන්ම බලය ලබාගත් පසු රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි .

එසේම ඔහු අනෙකාට එරෙහිව ආණ්ඩු තැනූ උපායමාර්ගික එළැඹුම නිවැරදි නොවන බවද සඳහන් කළ අතර , ජවිපෙ සෘජු මැදිහත්වීමක් සිදුකළ 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟීම වරදක් ලෙස නොකියා පිළිගැනීම ද විශේෂත්වයක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ බැංකු සහ මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි .

එහිදී ඔහු මෙසේද පැවසීය.

අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාට පසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිව. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.

අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා. මේ පතුලේම සිටින ජනතාව මේ කාර්යයට යොදවා ගන්නේ කෙසේද කියන අභියෝගය අපට තිබෙනවා. සමාජයේ යම් උඩ තලයක සිටින අය අපට සමීප නැහැ. ඔවුන්ට අපේ කතා දැනෙන්නේ නැහැ.

ඒ නිසා අපි සිය වතාවකට වඩා පිළිතුරු දී ඇති ප්‍රශ්න තවත් ඔවුන්ගේ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. අපට ගැටෙන්නේ නැති අවධානය නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම වෙත අපේ මතය ගෙන යන්නේ කොහොමද කියන එක අපේ අවධානය යොමු විය යුතු වෙනවා. එය අපේ දෙවැනි අභියෝගයයි. ඒ කණ්ඩායම වෙත මගේ අවධානය යොමු කිරීමට මම උත්සාහ ගන්නවා.

අනුර ගේ පාපෝච්චාරණය සාධනීයයි !

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් newstube හිටපු සංස්කාරක මෙසේ අදහස් දැක්වීය.

" අනුර දිසානායක නායකතුමා ගේ මේ ප්‍රකාශය පොසිටිව් විදිහට ගන්න ඕන . මොකද ඔහු මෙතන අවිඥානික ලෙස හෝ ඇත්ත කියනවා. සමාජ මාධ්‍ය ඇතුලේ කමෙන්ට් ආම් හදලා ගේම ගැහුවට බිම් මට්ටමේ අභියෝගය එහෙම්ම තියෙනවා . දැන් පේන්න තියෙන විදිහට වම සහ ජාතිකවාදී අනුර එක් කඳවුරක ජනාධිපති අපේක්ෂකත්වය නියෝජනය කරනවා.ඒ වගේම විපක්ෂ නායක සජිත් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දකුණ, එහෙමත් නැත්නම් ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය කඳවුරේ තරගයක නිරත වෙනවා. දැනට පේන්න තියෙන ආකාරයට ජනාධිපති රනිල් පියවරෙන් පියවර දකුණේ අපේක්ෂක වෙන්න එනකොට සජිත් අනුර වෙන්න උත්සාහ කරනවා. මෙතැන පොහොට්ටුවේ බහුතරය ජනාධිපති රනිල් ට ගියොත් දකුණේ අපේක්ෂකත්වය ඔහුට හිමිවීම වලක්වන්න බෑ. මොකද සජිත් සජබ - එජාප පදනම් බිඳගෙන වාම ජාතිකවාදී ප්‍රතිපත්තියක් වෙත පල්ලම් බසිමින් සිටින නිසා. ඒ අවබෝධය අනුව ඊළඟ ජනාධිපතිවරණ සටන ජාතිකවාදී වම සහ ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇතිවෙනවා.

මේ කියන බෙදීම ඇතුලේ තමයි අනුරට පේන්නේ බලය ගැනීම වගේම බලය ගෙන රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක කියලා .

ජාතික ජනබලවේගය බලය ගත්තොත් බදු අඩු කරන්න ඕන , වැටුප් වැඩි කරන්න ඕන , දැන් තියෙන IMF සමග වන වැඩසටහන වෙනුවට විකල්පයක් ගේන්න ඕන , ඒකට IMF එකඟ වෙන්න ඕන , එහෙම නැති වුණොත් ආයෙත් 2022 තැනට ගිහින් විදෙස් සංචිත අර්බුදය විසඳීමට සැලසුම් කරන්න ඕන , ඒ එක්කම විදෙස් ණය හිමියන් සමග යළිත් සාකච්ඡා කරන්න වෙනවා. IMF සහතිකය නැති වුනොත් විදෙස් සංචිත අර්බුදය ආයෙත් එනවා. ණය ගෙවන්නේ නැතුව අඩියක් ඉස්සරහට යන්න බැරි වෙනවා.

ඔන්න ඔහොම ප්‍රශ්න වැලක් එක්ක තමයි බලය ලැබුනත් යන්න වෙන්නේ . ඒ කියන්නේ 2022 ගෝඨාභය මුහුණ දුන් අභියෝගය අනුර ට එනවා.

ඒ එක්කම ඔහු පිළිගෙන තියෙනවා , ආර්ථිකයේ බරපතළ දුෂ්කරතා වලට මුහුණදී සිටින ප්‍රජාව ජාතික ජනබලවේගය සමග නැති බව . ජාජබ කොන්දේසි IMF පිළිගත්තේ නැත්නම් "ගෙවන්න පුළුවන් දවසක ගෙවන්න "කියන හඳුන්නෙත්ති තියරිය අවුල් වෙනවා. ඒ එක්කම හොරු කියලා කියපු උදවිය හිරේ දාන්න වෙනවා . ඒක නිදහස් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් ඇතුලේ කරන්න වෙනවා. ඔය ඇති නේද ප්‍රශ්න ටික. ඔය විදිහට දිගෑරලා ගත්තොත් අනුර දිසානායක නෙවෙයි , අපිත් භීතියට පත්වෙනවා. ඒ නිසා 2005 දී රනිල් වෙනුවට මහින්ද ගෙන ඒම ජාතිවාදී වමේ වරදක් ලෙස අරගෙන , රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යාමට සිදුවීම අනුර මුහුණදී ඇති යථාර්ථය වෙන බව කවුරුත් තේරුම් ගන්න ඕන . එතකොට අනුර ද රනිල් ද වෙනුවට , මේ සිස්ටම් එක හොඳට ප්ලේ කරන්නේ කවුද ? එතන අවධානමක් නැත්නම් තෝරාගැනීම කළ යුත්තේ කොහොමද යන්න මිලියන 22 ජනතාව ට හිතන්න වෙනවා.