මැඩගස්කර ජනපති පලාගියත් ධුරය අත්හැර නැහැ

මැඩගස්කර ජනපති පලාගියත් ධුරය අත්හැර නැහැ

මැඩගස්කරයේ ජෙන් - සී (Gen Z) තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) රටින්  පලා ගොස් ඇතැයි එරට විපක්ෂ  නායක, හමුදා ආරංචි මාර්ග සහ විදෙස් තානාපති නිලධාරියකු ඊයේ (13) ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ලොව පුරා පැතිර යන ජෙන් - සී අරගල රැල්ල මසක් වැනි කෙටි කලක් තුළ මැඩගස්කර රජය ද පෙරළා දැමීමට සමත්ව ඇත.

 ඉරිදා (05) එරට හමුදා කොටස් අරගල කරුවන්ට සහාය පල කර සිටීමත් සමග බියට පත් රජෝලීනා එදිනම රටින් පලා ගිය බව විපක්ෂ නායක සිටෙනි සැන්ඩ්‍රියානාසොලොනිඅයිකො (Siteny Randrianasoloniaiko) විසින් තහවුරු කර තිබේ. එම පුවත  ජනපති කාර්ය මණ්ඩලය විසින් ද සනාථ කර ඇත.

ජනපති රජෝලීනා පලා ගිය ස්ථානයක් පිලිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. ඔහු ප්‍රංශ හමුදා යානයකින් පලා ගිය බව පමණක් දැනට අනාවරණය වී ඇතැයි හමුදාව පවසයි.

මේ අතර, ඊයේ ෆේස් බුක් ඔස්සේ ජනතාව ඇමතූ රජෝලීනා, ජීවිතාපේක්ෂාව පතා ආරක්ෂක ස්ථානයක් වෙත ස්ථාන මාරු වූ බව ප්‍රකාශ කළේය. තමා සිටින ස්ථානය පිලිබඳ නිශ්චිත  තොරතුරක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඔහු, කිසිවකුටත් මැඩගස්කරය විනාශ කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

රජෝලීනා ජනපති ධුරය අත්හැරීම තව දුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව එරට විදෙස් තානාපති අංශ  කියයි. ඔහු ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) සමග රහස් ගිවිසුමකට එලැඹ ඇතැයි RFI ප්‍රංශ ගුවන්  විදුලි සේවය නිවේදනය කළේය.  ගාසා සටන්  සම්බන්ධයෙන් ඊයේ ඊජිප්තුවේ පැවති විදෙස් නායක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති මැක්‍රන්, මැඩගස්කර ජනපතිවරයාට රටින් පලා යාමට ප්‍රංශය සහාය දුන් බවට පළවන පුවත් හදිසියේ තහවුරු කළ නොහැකි යැයි පැවසීය.

මැඩගස්කර ව්‍යවස්ථාවට අනුව නීතිය ස්ථාපිතව පැවතිය යුතු බව  අවධාරණය කළ ප්‍රංශ ජනපති, තරුණ ප්‍රජාව මුහුණ පා ඇති ගැටළු නිරාකරණය කිරීම අනිවාර්ය කටයුත්තක් වුව, එම සිවිල් ගැටළු සම්බන්ධයෙන්, හමුදා කොටස්වලට අනවශ්‍ය  අත පෙවීම් සිදු කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද අවධාරණය කළේය. මැඩගස්කරය කලක්, ප්‍රංශ යටත් විජිතකරණයට හසුව තිබූ අප්‍රිකානු දිවයිනක් ද වේ.

විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ  රජයේ දූෂණ, වංචා සහ ජීවන  ගැටළු මුල් කරගත් දැවන්ත දීප ව්‍ය්පාප්ත තරුණ අරගලයක් තෙක්  වර්ධනය විය.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/14/2025


Madagascar's president has left the country after Gen Z protests, officials say


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න