මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති හරිණි අමරසූරිය, බීජිංහි දී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang හමු වූවා ය.
දෙරටෙහි ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ
මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළා ය. අග්‍රාමාත්‍යවරිය මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළා ය.
අග්‍රාමාත්‍යවරිය වෙතින් චීනයේ භූමිකාව පැසසුමට
ගෝලීය ආර්ථිකයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන නියෙමුවකු ලෙස මෙන් ම දරිද්‍රතාව අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මානව-ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවෙහි හවුල්කරුවකු ලෙස චීනයේ භූමිකාව පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව ගෙන යන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පැහැදිලි කළ අතර 2025 ජනවාරි මාසයේ දී දියත් කළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළුව දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාරත්වය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යෑම සහ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳව තව දුරටත් විස්තර කළා ය.
අග්‍රාමාත්‍යවරිය, 'එක් තීරයක් එක් මාවතක් (BRI)' ව්‍යාපෘතිය පිළිගනී
ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑත කාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන ගමන් පථය පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීන අග්‍රාමාත්‍යවරයා හට පැහැදිලි කළ අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළා ය. චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාවය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව අවධාරණය කරමින් ජාතික හා කලාපීය සම්බන්ධතාවයට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන අඛණ්ඩ සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළා ය.
චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය
කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ කාර්මික හා සැපයුම් දාම සහයෝගීතාව පිළිබඳ 2025 මැයි මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුගත වෙමින් ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේද යටතේ හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව ඇතුළුව, වෙළඳාම සහ ආයෝජන සඳහා අවස්ථා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහි දී සඳහන් කළා ය. පොහොර සැපයුම් ඇතුළුව දේශීය නිෂ්පාදනය සඳහා යෙදවුම් සඳහා පහසුකම් සැලසීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය Li Qiang සමග සාකච්ඡා කළ අතර චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබාගත හැකි මාර්ග පිළිබඳ අවදානය යොමු කළා ය.
බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව (Beijing Declaration and Platform for Action) සඳහා අග්‍රාමාත්‍යවරිය ගේ අඛණ්ඩ සහයෝගය
ස්මාර්ට් පන්ති කාමර, ශිෂ්‍යත්ව, රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ පශ්චාත් උපාධි වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග ඇතුළු අධ්‍යාපන අංශයේ සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ද මෙහි දී අවධානයට ලක් විය.
කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තහවුරු කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව (Beijing Declaration and Platform for Action) සඳහා සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර කාන්තා නායකත්වය, බලගැන්වීම, කාන්තාවන් සඳහා සම අවස්ථා ලබා දීම සහ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික කැපවීම අවධාරණය කළා ය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය - බීජිං සිට
