Language Switcher

V2025

පොලිස්පති දේශබන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් : විනිසුරු ස්තුති කරයි !

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පාර්ශවකරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකයකු වන එම්. බී. වී. රැළපනාව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම දැනුම් දීම සිදුකළේය.

එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයකු පොලීසිය වෙත කැඳවනු ලැබන අවස්ථාවේදී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කව්ද? සහ එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පුද්ගලයාට දැනුවත් කිරීමට අදාළව චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් පුද්ගලයෙක් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට පෙර එම පැමිණිල්ල සිදුකළේ කවුරුන්ද? එම පැමිණිල්ලේ අන්තර්ගතය කුමක්ද? යන තොරතුරු දැනගැනීමට හිමිකමක් තිබෙන බව සඳහන් කළේය.

පොලිස්පතිවරයා විසින් කෙටුම්පත් කරනු ලබන චක්‍රලේඛයේ පිටපත අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළේය.

ඉන් අනතුරුව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ස්තුතිය පළ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර .පසුව ඔහු මුදා හැරීමටත් නියෝග කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ අදහසක් පළ කිරීමෙන් පසුව ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණ ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවය.

අදාළ ප්‍රකාශය ලබා ගැනීමට සූදානම් වන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන් දැයි තමන් විමසූ විට ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සන්කරු චෝදනා කළේය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබේ.

  • derana