සහල් ඇසුරුම්වල සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර වැඩි මිලක් යෙදීම සහ කල් ඉකුත් වූ දියර ග්ලූකෝස් තොග ගබඩා කර තැබීම සම්බන්ධයෙන් කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි Tastyy Pvt Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ චෝදනා 02ක් යටතේ නඩු පවරන ලදී.
2026.06.24 දින එම ආයතන පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සහ අදාළ ගැසට් විධාන උල්ලංඝනය කරමින් මුල් මිල මකා වැඩි මිලක් සඳහන් කර සකස් කරමින් තිබූ කිලෝග්‍රෑම් 01 බාස්මතී සහල් ඇසුරුම් තොගයක් සහ 2026.03.07 දිනෙන් කල් ඉකුත් වූ කිලෝග්‍රෑම් 20ක දියර ග්ලූකෝස් ඇසුරුමක් නිලධාරීන් භාරයට ගන්නා ලදී. මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එල්ල වූ චෝදනාවලට විත්තිකාර සමාගම වරද පිළිගත් අතර, ඒ අනුව ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාගමට රු. 200,000ක දඩ මුදලක් නියම කරන ලදී.
පාරිභෝගික ඔබ සැලකිලිමත් වන්න! සහල් හෝ වෙනත් භාණ්ඩවල සටහන් කර ඇති මිල මකාදමා වැඩි මිලක් යෙදීම හෝ කල් ඉකුත් වූ ද්‍රව්‍ය අලෙවිය සඳහා තැබීම නීති විරෝධී වේ. භාණ්ඩ මිලදී ගැනීමේ දී මිල, කල් ඉකුත් වීමේ දිනය සහ ලේබලයේ සඳහන් තොරතුරු පරීක්ෂා කරන්න.
මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාව තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
