පාරිභෝගිකයන්ට අලෙවි කරන පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් නීතියෙන් නියම කර ඇති තොරතුරු සඳහන් නොකර ඇසුරුම් කරන ලද තායි සිවුරු 06ක් අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, කොළඹ 10, මරදාන, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවතේ පිහිටි සමයවර්ධන පොත්හල (පුද්ගලික) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරන ලදී.
2026.08.10 දින සිදුකළ වැටලීමේ දී උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයා ගේ හෝ ආනයනකරු ගේ ලිපිනය, දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය සඳහන් නොකළ ඇසුරුම් කරන ලද තායි සිවුරු 06ක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබිය දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් විධාන අංක 55 උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති අතර, 2026.09.02 දින ගරු අධිකරණය විසින් විත්තිකාර සමාගමට රු. 100,000ක දඩ මුදලක් නියම කරන ලදී.
අටපිරිකර හා සිවුරු සම්බන්ධයෙන් මෙම තොරතුරු වැදගත් වන්නේ ඇයි?
වර්තමාන වෙළෙඳපොළ තුළ නිෂ්පාදකයා, ආනයනකරු හෝ සැපයුම්කරු නිසි ලෙස හඳුනාගත නොහැකි සහ ගුණාත්මකභාවයෙන් තොර පිරිකර භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතී. භාණ්ඩයේ මූලාශ්‍රය හඳුනාගත නොහැකි විට එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇති වූ අවස්ථාවක වගකිවයුතු පාර්ශ්වය සොයා ගැනීමද අපහසු වේ. විශේෂයෙන් අටපිරිකර සහ සිවුරු සම්බන්ධයෙන් අඩු ගුණාත්මකභාවයෙන් යුත්, භාවිතයට අපහසු හෝ භාවිතයට නුසුදුසු භාණ්ඩ පිළිබඳ භික්ෂූන් වහන්සේලාගෙන්ද පැමිණිලි ලැබී ඇත. එමෙන්ම ඇතැම් අටපිරිකර ඇසුරුම් තුළ පිරිකරට අදාළ නොවන හෝ ප්‍රායෝගිකව භාවිතයට නොගත හැකි භාණ්ඩ ඇතුළත් කර ඇති අවස්ථාද වාර්තා වී ඇත.
විධාන අංක 55 ගැන දැනුවත් වන්න.
2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 55 අනුව අදාළ පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත පාරිභෝගික තොරතුරු පැහැදිලිව සඳහන් කළ යුතු ය. පිරිකර මිලදී ගැනීමේදී පාරිභෝගික ඔබත් සැලකිලිමත් වන්න. අටපිරිකරක් හෝ සිවුරක් මිලදී ගැනීමට පෙර අදාළ තොරතුරු ඇසුරුමේ සඳහන්ව තිබේදැයි පරීක්ෂා කරන්න. හැකි අවස්ථාවලදී අටපිරිකර ඇසුරුම විවෘත කර ඇතුළත් භාණ්ඩ පරීක්ෂා කර, ඒවා නිසි තත්ත්වයෙන් හා අවශ්‍යතාවයට ගැළපෙන භාණ්ඩ ද යන්න තහවුරු කරගන්න. සැපයුම්කරු පිළිබඳ තොරතුරු විමසා බිල්පත ලබාගෙන සුරක්ෂිතව තබාගන්න.
මෙවැනි අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාව තුළ 1977 අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
