ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian)  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ගාසා තීරයේ ගැටුම් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා සටන් විරාමයක් ඇති කර සාම ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව ඉරාන විදේශ අමාත්‍යවරයා ‍හමුවේ අවධාරණය කළේය.

එමෙන්ම කිසිදු සාම ගිවිසුමක් ඒකපාර්ශ්වික නොවිය යුතු බවත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි වන පරිදි සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වසර 5ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිට විය යුතු බවත් එය පිහිටුවීමේදී ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවිය යුතු බවත් සඳහන් කළේය.

ඉන්දියන් සාගරය තුළ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කලාපයේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද පැවසීය.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන්  සඳහන් කළේ දෙරටේ සංස්කෘතික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් ඉරාන රජය කැපවී සිටින බවයි.

ඉරාන- ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව සඳහා නව මංපෙත් විවර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න