රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.5ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් !

 රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.5ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් !

රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම ඊයේ (16) කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

2023 දෙසැම්බර් මස 30 වනදා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 04 වනදා තෙල් මෙට්‍රික් ටොන් 13.1ක් රුසියානු රජයෙන් මෙරටට ලබාදීම සිදු වූ අතර එම සමස්ත පරිත්‍යාගය වන තෙල් මෙට්‍රික් ටොන් 130.41කට අදාළ පරිත්‍යාගය මෙලෙස නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදු විය.
මේ අතර මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2023 ජූලි 04 වනදා ද සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 351.9ක ප්‍රමාණයක් රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කරනු ලැබේ.

විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගයන්ට මුහුණ පා සිටින ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙම සාමූහික ප්‍රයත්නය රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වන ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබේ.

රුසියානු සමූහාණ්ඩුවේ මෙරට තානාපති ලෙවන් එස්. ඩගයරාන් මහතාද, ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්ෂ ජෙරාඩ් රෙබෙලෝ මහතා ඇතුළු එහි නිලධාරීන් සහ ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමීර් අජ්වාඩ්, කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශ්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්. රිෆ්ලාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240117 WA0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න