ෂෙයික් හසීනාගේ ජයග්‍රහණයට ජනපති රනිල් සුබ පතයි !

ෂෙයික් හසීනාගේ ජයග්‍රහණයට ජනපති රනිල් සුබ පතයි !

බංග්ලාදේශයේ පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ ෂෙයික් හසීනා මහත්මිය මෙතෙක් බංග්ලාදේශ ජනතාවට ලබා දුන් දක්ෂ හා දූරදර්ශී නායකත්වය මෙම විශිෂ්ඨ ජයග්‍රහණයට ඉවහල් වූ බවයි.

ෂෙයික් හසීනා මහත්මියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේ දී එම සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කර තිබේ.

හැකි විගස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ෂෙයික් හසීනා මහත්මිය වෙත ඇරයුම් කර ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගනිමින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට එම සංචාරය ඉවහල් වනු ඇති බවත් සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය සමයේ ෂෙයික් හසීනා මහත්මියගේ පෞද්ගලික මැදිහත්වීම මත බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහාය පිළිබඳව ද සිහිපත් කර ඇති ජනාධිපතිවරයා ෂෙයික් හසීනා මහත්මිය ශ්‍රී ලංකාව සහ ජනතාව කෙරෙහි දක්වන ලැදියාව සහ හිතෛෂීභාවයද කෘතවේදීව අගය කර තිබේ.

බංග්ලාදේශ ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය වෙත නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය හෘදයාංගම ශුභාශිංසන පළ කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න