අමාත්‍ය මණ්ඩල සංශෝධනය විද්‍යාත්මක පදනමින් සිදුකරන බව සඳහන් වුවත් ඒ සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ විවේචන එල්ලවෙමින් ඇත.
ඒ අතර එල්ලවන විවේචනයක් වන්නේ වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන දේශපාලනය කරන මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිකම සඳහා නම් කිරීම සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එච්.එම්.එම්. හරිස් වෙත රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පදවිය ලබාදීම සම්බන්ධවය.
මුහුද දැකලා නැති අප්පච්චි මලෝට ධීවර ඇමතිකමදීලා - කුමාර වෙල්ගම
මේ අතර නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම චෝදනා කර සිටින්නේ විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කරනවා කිව්වත් මුහුදවත් හරියට දැකලා නැති "අප්පච්චි මලෝට" ( විජිත් විජියමුණි ද සොයිසා මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍ය) ධීවර අමාත්‍යධුරය ලබාදී ඇති බවය.
එසේම අජිත් පී.පෙරේරා, පාලිත රංගේබණ්ඩාර වැනි කෑගහන පාර්ශවයන්ට අමාත්‍යධුර ලබාදී නොමැති බවත් මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ අදාළ අමාත්‍යවරුන්ට හරිහැටි රාජකාරියක් කිරීමට අවස්ථාවක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විද්‍යාත්මක නැතැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - ජනාධිපති
කෙසේ වුවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන්කා නොමැති බවට ආණ්ඩුවට චෝදනා එල්ලවුවත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද අදහස් දක්වා ඇත.
මෙම අමාත්‍යාංශ අලුතෙන් සැලසුම් කරද්දි අගමැතිතුමත්, මමත් සාකච්ඡා කරලා බොහෝ නිවැරදි කිරිම් සිදු කළා. ඒ වගේම අමාත්‍යංශවල ආයතන, විෂය ගැසට් කිරීමේදී මම පැහැදිළිව සඳහන් කරන්න ඕන මේ විද්‍යාත්මක පදනම පැහැදිළිව ලෙසම සැලකිල්ලට ගන්නවා කියන එක. ඒ පිළිබඳව කවුරුවත් අමනාප වෙන්න එපා. මොකද රටේ සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නවා අපි කියපු දේ හරියටම කෙරෙයිද කියන කාරණාව දෙස. ඒ නිසා බොහෝ විවේචනාත්මකව තිබූණු අමාත්‍යාංශ දැන් හුඟක් වෙනස් වුණා.
ඊළඟට ආයතන වශයෙන් සිදුකළයුතු වෙනස්කම් අගමැතිතුමත්, මමත් සාකච්ඡා කරලා පැහැදිළි ලෙසම විද්‍යාත්මක පදනමෙන් එම ආයතන ගැසට් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙකුටම විශාල වැඩකොටසක් තිබෙනවා. මහජනතාව අප දෙස බලාගෙන ඉන්නවා අපේ කාර්යයන් මොන විදිහට ද ඉෂ්ට වෙන්නේ කියලා. විරුද්ධ පක්ෂය මොන විදිහේ චෝදනා එල්ල කළත් ඒ සියල්ලත් එක්ක ඔබ අප සෑම කෙනෙක්ම අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් ලෙස අපේ රජයේ සාර්ථකත්වය ඇතිකරලා බලාපොරොත්තුවන සංවර්ධන ඉලක්ක සමග යහපත් ආර්ථිකයක් සහ යහපත් සමාජ වටපිටාවක් ඇති කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් තුළ අප සෑම කෙනෙක්ම එක්ව සුහදතාවයෙන්, සහයෝගීතාවයෙන් මිත‍්‍රශීලිව අවංකව කටයුතු කරමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබ සියලුදෙනාට සුබ පතනවා. ආශිර්වාද කරනවා."

