විධායක ජනාධිපතිධුරය සම්බන්ධව තමන් පෙර දැරූ ස්ථාවරයේ වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.
ඒ බීබීසී සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වන අතර එම සාකච්ඡාව පවත්වා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව සඳහා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් වෙත ගිය අවස්ථාවේය.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වන්නේදැයි කළ විමසීමට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ, "මගේ ස්ථාවරය එදත් එකයි. අදත් එකයි. දන්නවනේ හැම කෙනෙක්ම මම මොකක්ද කලින් කියල තියෙන්නෙ කියලා, මේක නැවත නැවත මගෙන් ඇසීම මම දන්නේ නෑ ඒගොල්ල ඇයි ඒ තතවෙට වැටිල තියෙන්න කියල’යනුවෙන්ය.
ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමත් අනවශ්‍ය දෙයක්
එසේම එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන දැනට කතා කිරීම අවශ්‍ය නොවන බවය. මන්ද තව අවුරුදු එකහාමාරක් දෙකක් තිබෙන දෙයක් දැන් කතා කල විට රට තුල දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වන බවත් හැම කෙනෙකු තුලම මැතිවරණ මානසිකත්වයක් ඇතිවන බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන්ට, පුරවැසියන්ට මැතිවරණ මානසිකත්වයක් ඇතිවීම රටේ සංවර්ධනයට බරපතල හානියක් බවද සඳහන් කර ඇත.
තවද ඇතැම් දේශපාලකයින්ට තිබෙන පෞද්ගලික න්‍යාය පත්‍ර සහ බලයට ඒමට තිබෙන කෑදරකම මත එවැනි දේ සඳහන් කරන බවත් රටකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සහ න්‍යායපත්‍රයක් තුළ කටයුතු කිරීම හැර ලංකාවට අද අවශ්‍ය අවුරුදු දෙකකට පෙර තිබෙන මැතිවරණයක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
ජනාධිපතිගේ පුද්ගලික මනාපය පාර්ලිමේන්තු ක්‍රමයකට
මෙහිදී ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආකල්පය වෙස්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුවක් ද නැතිනම් විධායක ජනාධිපතිවරයෙක් සිටින රාජ්‍ය ක්‍රමයක්ද යනුවෙන් අසන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ විධයකයකට වඩා සුදුසු පාර්ලිමේන්තු ක්‍රමයක් බවය. නමුත් ආයතනික ව්‍යුහය , පළාත් සභා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ යන කරනා ගැන සැළකිලිමත් වීමද එහිදී අතිශය වැදගත් වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එමෙන්ම කුමන ව්‍යවස්ථාව හැදුවත් පුද්ගල චරිත ලක්ෂණ මත එය තීරණය වනබව පෙන්වාදෙන ජනාධිපතිවරයා දැනට හිටපු විධායක ජනාධිපතිවරුන් 6 ම චරිත 6ක් බව තමන් දකින බවද සඳහන් කර තිබේ.

