ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) රැස් වූහ.
ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යෑම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලු ම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත්, ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සඳහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පත් කරන ලදී.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරති.
මෙම සාකච්ඡාවට සමගාමීව නිලධාරී කමිටුව සඳහා පත් කළ සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබා දීම ද සිදු කළේ ය.
එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව ප්‍රබල සම්භාවිතාව 63%ක් සහ දුර්වල සම්භාවිතාව 33%ක් බව මෙහි දී අනාවරණය වූ අතර, එම තත්ත්වය යටතේ පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවටද අවධාරණය කළේ ය.
ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ වැසි තත්ත්වයක් අඩුවැඩි වශයෙන් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බැවින් එම සියලු තත්ත්වවලට මුහුණ දීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස මෙහි දී අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දුන්නේ ය.
එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව දැනට පවතින වෙන් වෙන් අර්ථ දැක්වීම් වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පමණක් නිල ප්‍රකාශ නිකුත් කිරීමට ද මෙහි දී තීරණය කළේ ය.
විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අංජලී කුමාරතුංග, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්. ඩී. පී. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත යන අය සහ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
President's Media Division

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
