දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාකරුවන්ට අභියාචනාධිකරණයෙනුත් තීන්දුවක් !

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාකරුවන්ට  අභියාචනාධිකරණයෙනුත් තීන්දුවක් !

දකුණු ආසියාවේ විශාලතම "වැට් බදු" වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තිදෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත අද (13) දින ස්ථිර කර තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල් නියමවී සිටී මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුවට පැමිණ ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු හා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණය වීමක් සිදු නොවන හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවය.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පනවන ලද දඬුවම් ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරිණ.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් සම්බන්ධයෙන් සාපරාදී ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් 2014 වසරේ සැප්තැම්බර් මස 26 වනදා බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණි.

මහාධිකරණ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය මගහැර පළාගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න