Image

රනිල් කොලම - රනිල්, ජනපතිට නීතිය උගන්වයි

රනිල් කොලම - රනිල්, ජනපතිට නීතිය උගන්වයි

මේ සතියේ රනිල් හමුවට ආ මන්ත්‍රී කණ්ඩායමේ පළවෙනි මාතෘකාව වූයේ මහින්ද අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ කොළඹට පැමිණි සෙනඟ ගැනයි. ආණ්ඩුව හිතුවාට වඩා සෙනගක් කොළඹට හදිසියේ පැමිණි බවත් එයින් ආණ්ඩුව භය බිරාන්තව සිටින බව මන්ත්‍රීවරු රනිල්ට සැල කර සිටියහ.

මහින්ද ගෙන් ප්‍රශ්න කිරීම ටික වේලාවක් ඇදෙනු ඇතැයි මුලින් ලැබුණු ආරංචිය විය. නමුත් හවස් වන විට රටේ නන් දෙසින් ජනතාව බස් රැගෙන කොළඹට එන බව ආණ්ඩුවට ආරංචි විය. ඒ ආරංචිය ලැබුණු සැණින් බියෙන් සලිත වී ගිය ආණ්ඩුවේ ඉහළම ඇත්තන් පවසා ඇත්තේ හැකි ඉක්මනින් මහින්ද ගෙන් ප්‍රශ්න කර ගෙදර යවන ලෙසයි.ඒ අනුව මහින්දගෙන් ප්‍රශ්න කර තිබුණේ පැය එකහමාරකටත් අඩු කාලයකි.

බලන නොබලන තරාතිරම

තරාතිරමක් නැතිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මාතලේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පැවසුවේය. භාණ්ඩාගාරයේ මුදල් නැතිවීමේ සිද්ධියටත් එලෙස තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රනිල් මන්ත්‍රී කණ්ඩායමට පැවසී ය.

"private management bill එකේ තුන්වෙනි හෝ හතරවෙනි වගන්තියේ ඇමැතිතුමා වගකිවයුතු බව පැහැදිලිව තිබෙනවා. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපති කිව්වේ ඉතා හොඳ කතාවක්. දැන් ඔන්න ඒකට අවස්ථාව .භාණ්ඩාගාර හොරකම ගැන ඉක්මනට තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න කියන්න," යැයි රනිල් කීවේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපනවා වගේ යන කියමන මතක් කර දෙමිනි.

" ඔව්, ඒක හරි සර් තරාතිරම බලනවා නම් ආණ්ඩුවේ උදවියගේ තරාතිරමත් නොබලා වැඩ කරන්න ඕන."

 මන්ත්‍රීවරු රනිල් ගේ කතාව අනුමත කළහ.

සාගල ගේ සතුට

Minister Sagala Ratnayaka

පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පරදවා මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ශීඝ්‍රයෙන් ඉදිරියට එමින් පවතී. විපක්ෂ නායකයා ලෙස සජිත් කළ යුතුව ඇත්තේ මෙලෙස ඉදිරියට එන බලවේගයට එකතු වී එහි බලය තවත් වැඩි කිරීමට කටයුතු කිරීම නමුත් ඔහු හුදෙකලා තනි ගමනක් ගමන් කරමින් සිටි. ඔහුගේ පක්ෂයේ ප්‍රබලයන්ද ඔහු හැරයාමට පටන්ගෙන ඇති පසුබිමක ඔහුට අන්තිමට ඉතුරු වන්නේ වටේ සිටින අන්තේවාසිකයන් කිහිප දෙනෙක් පමණි.
ගල් අඟුරු වංචාව ගැන කරුණු කීම සඳහා මාතර දී සංවිධාන කරන ලද ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණ අති සාර්ථක වූ බව හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල්ට දැනුම් දුන්නේය.
මාලිමා රජයේ හොරකම් වංචා දූෂණ ගැන කරුණු කීම සඳහා මෙම සම්මන්ත්‍රණ මාලාව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරයි. මාතර සණස ශාලාවේ දී පැවැතියේ එම සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්නයි. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල් පීරිස් ගේ මෙහෙයවීමෙන් මෙම සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන් ම සංවිධාන කළේ සාගලයි. මුලින් අදහස් කෙරුණේ ශාලාවේ පුටු පිරෙන්නට සෙනඟ එනු ඇති බවයි. දෙනියාය, හක්මන, අකුරැස්ස යනාදි දුර බැහැර පෙදෙස් වැලිනුත් ඊට ජනකාය පැමිණ සිටියහ. අවසානයේ පුටු සියල්ල පිරී ශාලාවේ අහුමුළු පවා පිරී ඉතිරී ගොස් තිබිණි.ඊට අමතරව පඩිපෙළවලත් අවටත් සෙනඟ දැක ගත හැකි විය. එයින් සම්මන්ත්‍රණයේ ප්‍රධාන සංවිධාන කාර්යභාරය කළ සාගල මේ ඉතා සතුටට පත් විය.
මෙහි තුන්වැනි සම්මන්ත්‍රණය ජාඇල දී ලබන 25 වැනිදා පැවැත්වෙයි. පළමු සම්මන්ත්‍රණය තිබුණේ අවිස්සාවේල්ලේ දී ය. ජාඇල සම්මන්ත්‍රණය සඳහා සංවිධාන කටයුතු මේ වන විටත් අරඹා ඇත.
රටට මෙච්චර අලකලංචියක් වෙමින් තිබිය දී සමගි ජන බලවේගය නිශ්ශබ්ද ඇයිදැයි රනිල් පවා විමතිය පළ කළේ ය.

සජිත්ට අනුර සරණයි...!

" සජිත් ගෙ කට වන්දනාවක ගිහින්. ඒක තමයි මං හිතන්නෙ පේන්න නැත්තේ. හැබැයි වන්දනාවේ ගියාම කියන්නේ සරණයි සරණයි බුද්ධං සරණයි කියලනේ. සජිත් කියන්නේ සරණයි සරණයි අනුර සරණයි කියලලු."

චාමර සම්පත් කී කතාවට රනිල්ටත් සිනහ නොවී සිටීමට බැරි විය.

ඒ වගේම තමන්ගේ පක්ෂයේ නායකයකු වන ඉරාන් ක්‍රිකට් ආයතනයට පත් කිරීම ගැන පක්ෂ මට්ටමින් සමගි ජනබල වේගය කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඉරාන් තවමත් ඒ පක්ෂගේ සාමාජිකයෙකි.
ක්‍රිකට් සඳහා අදාළ කමිටුව පත්කිරිල්ල බොරුවක් බව ලෝක කුසලානය ගෙනා නායකයා වන අර්ජුන රණතුංග පවා විවේචනය කර තිබිණි.

ඉරාන්ට පුළුවන් ද...?

iran

" ඉරාන්ට කරන්න පුළුවන් වැඩ මට්ටම ගැන අපිනේ දන්නේ. දක්ෂතාවක් ඇති මිනිහෙක් නෙමෙයි නේ ඇත්තෙන්ම."

විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් කීවේ සිනහවක්ද පහළ කරමිනි.

රනිල්ගේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල් හමුවේ පැවසූයේ ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රශ්නයක් පැන නැගී තිබෙන බව ආරංචි බවයි.

"මේ මාසෙ මැද ඉඳන් ක්ලබ්වලට සල්ලි දෙන්න තියෙනවා. තාමත් ඒකට වැඩපිළිවෙලක් නැතිලු. එංගලන්ත සංචාරයේත් අපට ලැබිලා තියෙන්නෙ එක මැච් එකයි.''

හර්ෂට සජබෙන් කැපිල්ලක්

සජබේ හර්ෂ ද සිල්වාටත් මේ වන විට සජබ ඇතුළෙන් ම කැපිල්ලක් ඇති බව ආරංචිය. ඔහු ආණ්ඩුවට යනවා යැයි ප්‍රචාරය කරන්නේ සජබ ඇතුළෙන් ම ය. හර්ෂ ඉකුත්දා රනිල් බලන්නට ද පැමිණ තිබිණි. ඉරාන් පවා ඔය තීරණය ගන්නා තැනට පත් කළේ සමගි ජන බලවේගය විසිනි. නගරාධිපති තරගය සඳහා ඉරාන් පත් කළා නම් තත්ත්වය මීට බොහෝ වෙනස්වන බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

ගොවි ගැටලුව නැවතත් කරළියට

ගෝඨාභය බලයෙන් පහ කිරීමට මූලික වූ ගොවි ගැටලුව මේ ආණ්ඩුවටත් පැමිණෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් ගම් මට්ටමින් යන විට ඔවුන්ට ඒ පිළිබඳව හොඳින්ම පැහැදිලි වී තිබේ. ගොවීන් පැමිණ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට තම දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇත.

ජනපතිගේ මාතලේ කතාව පවා ඉතා දුර්වල තත්ත්වයක පැවැති බව විපක්ෂයේ නායකයන් කිහිප දෙනෙක්ම රනිල්ට පැවසූයේ සමාජ මාධ්‍යයේ පළවී තිබූ ප්‍රබල දේශපාලන විචාරකයන් ගේ මතවාද කිහිපයක් උපුටා දක්වමිනි.

''ඇත්තෙන් ම මහින්ද අල්ලස් කොමිසමට ගෙනාපු එක ගැන ජනාධිපති වශයෙන් එයාට මොකුත් නොකියා ඉන්න තිබුණා.'' රනිල් ද එය අනුමත කළේ ය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ගේ සහ නියෝජිතයින් ගේ මාධ්‍ය හමුවක් කොල්ලුපිටිය අමාරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.ඊට පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ හතළිහකට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ. එදා මහින්ද අල්ලස් කොමිසමට කැඳවූ දිනය වුව ද මේ මාධ්‍ය හමුව සඳහා ද පක්ෂ නායකයින්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයේ අඩුවක් දක්නට නොලැබිණි. බොහෝ පක්ෂ නායකයින් අල්ලස් කොමිසම අසලටත් ගොස් මාධ්‍ය හමුවට සහභාගී වීමට පැමිණ තිබිණි.

ජනපති දෙන නඩු තීන්දු

නඩු තීන්දු ගැන ජනාධිපතිවරයා මැයි දින කතාවේ දී කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජී.එල්. මෙහි දී කරුණු දැක්වී ය.

court

"ජනපති ගේ ප්‍රකාශයේ අධිකරණ ස්වාධීනත්වයට මරු පහරක්. මෙහි පැතිකඩ කීපයක් තියෙනවා. නඩුවක එක්කෙනෙක් පරාජයට පත්වෙනවා. අනෙක් පාර්ශවය ජයග්‍රහණය කරනවා. පරාජයට පත් වෙන කෙනා ඉන්නේ කනස්සල්ලෙන්. නඩුව පැරදුණේ නඩුවට සම්බන්ධ කරුණු නිසා බවත් බාහිර කරුණක් නිසා නොවන බවත් එයාට දැනෙනවා නම් එවිට අසතුටෙන් වුණත් ඔහු මේක සාධාරණ නඩු තීන්දුවක් බව පිළිගන්නවා. හැබැයි පැරදුණේ නඩුවේ දුර්වලතාවය නිසා නොව බාහිර සාධකයක් නිසා බව දැනෙනවා නම් ඔහුට හෝ ඇයට නඩු තීන්දුව ගැන පමණක් නොව මුළු මහත් නීති පද්ධතිය ගැන ම අවිශ්වාසයක් දැනෙනවා. ජයග්‍රාහී පාර්ශවය සහ පරාජිත පාර්ශ්වය යන දෙකටම හැඟී යා යුත්තේ නඩුවේ ජයග්‍රහණය තීරණය කළ යුත්තේ නඩුව සමග ම බැඳී තිබෙන සාධක මත බවයි. ඒ වගේම ඕනෑම නීතිඥයෙක් කටයුතු කරන්නේ නීති දැනුම තර්ක පාවිච්චි කර විනිසුරු තමන්ගේ පැත්තට හරවා ගැනීමටයි. ඒ කියන්නේ නීතිඥයාගේ කුසලතාවයයි. අවසානයේ නඩු තීන්දුව තීරණය වන්නේ නීතිඥයා ගේ කුසලතාව මත නොව අමතර සාධකයක් මත කියා හැඟී යනවා නම් එය හොඳ දෙයක් නෙමෙයි. එවිට අදාළ නීතිඥයාට ද තෘප්තිමත්ව තමන් ගේ කාර්යයේ යෙදෙන්නට හැකියාවක් නැහැ. මේ නඩුව සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම නඩුවක් සම්බන්ධයෙන් නීතිඥයන්ට එවැනි හැඟීමක් ඇතිවුනොත් එය බරපතළ ප්‍රශ්නයක්.
ජනාධිපතිගේ ප්‍රකාශය ගැන නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන්නේ ඒ නිසයි.
තුන්වෙනුව විනිශ්චයකාරවරයා ගේ පැත්තෙන් බැලිය යුතුයි. නඩුව අහලා ඉවරයි. නඩු තීන්දුව දෙන්න තිබෙන දිනය ජනාධිපති රටට ප්‍රකාශ කළා. අත්පොළසන් නාදයකින් ඒ නඩු තීන්දුව භාර ගැනීමට සූදානම් වන්නැයි ජනාධිපති කියනවා. බලන්න ඒ කතාව නිසා විනිශ්චයකාරතුමා කොතරම් අසීරුතාවයකට පත්වෙනවාද? මේ නඩු තීන්දු ගැන පිටස්තර ලෝකය දන්නේ කොහොමද? එය දන්නේ විනිශ්චකාරවරයා පමණයි. මේක පිටස්තර බලපෑමක්. ඒ බලපෑම එන්නේ සාමාන්‍ය පුරවැසියෙක් ගෙන් නොවේ. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන් පත් කිරීමට බලය තිබෙන පුද්ගලයාගෙන්.
අනෙක මෙවැනි බලපෑමක් එන්නේ නඩුව අහන විනිශ්චකාරවරයාට පමණක් නොවේ. අධිකරණ පද්ධතියේ සියලු විනිශ්චකාරවරුන් වෙළා ගත් ප්‍රශ්නයක් බවට මෙය පත්වෙනවා. බලය තිබුණත් නැතත් දුප්පත් වුනත්, පොහොසත් වුනත් උසාවියට ගිහින් යුක්තිය ඉටුකරගන්න පුළුවන් යන හැඟීම පොදු සමාජයේ තිබිය යුතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණයක්. මෙවැනි ප්‍රකාශ නිසා යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් පොදු සමාජයේ විශ්වාසය නැති වෙනවා'' යැයි ජී.එල් ඉතා තර්කානුකූලව කරුණු දැක්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න