Image

ශ්‍රී ලංකාව ‘ඉහළ මැද ආදායම්’ ලබන රටවල් ගොන්නට එක්වෙයි

ශ්‍රී ලංකාව ‘ඉහළ මැද ආදායම්’ ලබන රටවල් ගොන්නට එක්වෙයි

වසර 2022දී රට මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය නිමා කරමින් වර්තමානයේ ලබා තිබෙන ප්‍රගතිය හමුවේ ශ්‍රී ලංකාව ‘ඉහළ මැද ආදායම්’ ලබන රටක් ලෙස ලෝක බැංකුව ශ්‍රේණිගත කර ඇත.

ලෝක බැංකුව විසින් ඊයේ (1) නිකුත් කරන ලද නවතම රටවල් ආදායම් වර්ගීකරණ යාවත්කාලීන කිරීමට අනුව, ශ්‍රී ලංකාව ‘පහළ මැදි ආදායම්’ ලබන කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් දක්වා නිල වශයෙන් උසස් කර ඇත.

මෙම සුවිශේෂී ජයග්‍රහණය මගින් පෙන්නුම් කරන්නේ 2022 වසරේ දී රට මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත් ආර්ථික පුනරුත්ථාපනයක් සහ ප්‍රකෘතිමත් වීමක් අත්පත් කරගෙන ඇති බවයි.

ඇට්ලස් ක්‍රමයට ආදායම් බෙදෙන විදිය

සෑම වසරකම ජූලි 1 වැනිදා ලෝක බැංකුව විසින් ලොව පුරා පවතින රටවල ආදායම් වර්ගීකරණ යාවත්කාලීන කරනු ලබයි. ඒ සඳහා ඔවුන් පදනම් කරගන්නේ ‘ඇට්ලස් ක්‍රමය’ (Atlas method) මගින් ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායමයි (Gross National Income - GNI per capita). කෙටි කාලීන විනිමය අනුපාත වෙනස්වීම් නිසා සිදුවන බලපෑම් අවම කර නිවැරදි තත්ත්වය හඳුනා ගැනීමට මෙම ඇට්ලස් ක්‍රමය උපකාරී වේ. මේ අනුව ලෝකයේ රටවල් ආදායම් මට්ටම් හතරකට බෙදා වෙන් කරනු ලබයි. එම කාණ්ඩ හතරනම් පහළ ආදායම් ලාභීන්, පහළ මැදි ආදායම් ලාභින්, ඉහළ මැදි ආදායම් ලාභීන්, ඉහළ ආදායම් ලාභීන් ය. ඒ අනුව වසර 2025දී එක්සත් ජනපද ඩොලර් 1135ක් තිබූ මේ වසරේ ජූලි 01දා වන විට එය එක්සත් ජනපද ඩොලර් 1175ක් වූ ඒක පුද්ගල ආදායමක් සටහන් වු රටවල් පහළ ආදායම් ගොන්නට ගැනේ. පසුගිය වසරේ ජූලි 01දා වන විට එක්සත් ජනපද ඩොලර් 1136 සිට ඩොලර් 4495ක් දක්වා වූ රටවල් පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් විය. එය මේ වසරේ ජූලි 01දා වන විට ඩොලර් 1176 සිට ඩොලර් 4635දක්වා වැඩි කර ඇත. මෙවැනි ඒක පුද්ගල ආදායම් ලබන රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් වේ.

ඉහළ ආදායම් ලබන රටක් ලෙස හැඳින්වීමට නම්...

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් පහක් මෙවර ඉහළ මැදි ආදායම් ලබන රටවල් බවට උසස් කොට ඇත. වසර 2025 ජූලි 01දා වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 4496 සිට ඩොලර් 13935ක්ව තිබූ ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ විය. ශ්‍රී ලංකාව ඇතුලු රටවල් හතරක් මේ වසරේ ජූලි 01දා වන විට ඩොලර් 4636සිට ඩොලර් 14375ක් දක්වා කාණ්ඩයට ඇතුලත්ව ඉහළ මැදි ආදායම් ලබන රටවල් බවට පත්ව තිබේ. ඉහළ ආදායම් ලබන රටක් ලෙස නම් වීමට නම් මේ වසරේ ජූලි 01දා වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 14375ක් වැඩි විය යුතුය. එය වසර 2025 පැවතියේ ඩොලර් 13935 මට්ටමේ ය. මෙවර සිදුකළ වර්ගීකරණයේදී ශ්‍රී ලංකාව මීට පෙර රැඳී සිටි ‘පහළ මැද ආදායම්’ කාණ්ඩයෙන් ‘ඉහළ මැද ආදායම්’ කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද මෙවර ඉහළ කාණ්ඩයන් වෙත උසස් වී තිබේ. විශේෂත්වයක් වන්නේ මෙම වසරේදී කිසිදු රටක් ආදායම් මට්ටම්වලින් පහළට ඇද වැටී නොමැති වීමයි.

මෙම ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූයේ කෙසේ ද...?

ශ්‍රී ලංකාව මෙලෙස නැවත වර්ගීකරණයට ලක්වීම, අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වීමේ සහ නොසැලී නැගී සිටීමේ සුවිශේෂී කතාන්දරයක් ලෙස ලෝක බැංකුව පෙන්වා දෙයි. 2026 වසරේ මෙම ඇගයීම ලැබෙන්නේ රට මුළුමනින්ම බිඳ වැටීමේ අද්දරටම රැගෙන ගිය 2022 දරුණු ආර්ථික අර්බුදයෙන් වසර තුනකට පසුවය. 2025 වසර වන විට ලංකාවේ ආර්ථිකය ඉතා පැහැදිලි ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විය. වසර 2025 දී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (Real GDP) වර්ධනය ආසන්න වශයෙන් 5% ක් තරම් ඉහළ මට්ටමක පැවතුණි. කර්මාන්ත ක්ෂේත්‍රය, මූල්‍ය සේවා සහ සංචාරක ව්‍යාපාරය යන අංශ ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක කැපී පෙනෙන සහ ශක්තිමත් වර්ධනයක් දක්නට ලැබුණි. මෙම පුළුල් පරාසයක විහිදුණු ආර්ථික පිබිදීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට ‘ඉහළ මැද ආදායම්’ කාණ්ඩ සීමාව පසුකර යාමට අවස්ථාව උදා විය. රට තුළ ක්‍රියාත්මක කරන ලද අසීරු මෙන්ම අත්‍යවශ්‍ය වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ස්ථාවරත්ව පියවර නිසා මෙම ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූ අතර, එමගින් රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැවත තහවුරු විය.

දිළිඳුකම තවදුරටත් රට තුළ ප්‍රධාන ගැටලුවක්ව පවතී

ලෝක බැංකුව පවසන පරිදි 1987 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගෝලීය වශයෙන් අඩු ආදායම් ලබන ආර්ථිකයන්හි ප්‍රතිශතය 30% සිට 11% දක්වා සුවිශේෂී ලෙස පහත වැටී ඇත. ලෝක බැංකුවේ මෙම නවතම වර්ගීකරණය ලොව පුරා පවතින ආර්ථිකයන් 218 ක් ආවරණය කරන අතර, එය ලෝකයේ විවිධ රජයන්, පර්යේෂකයන් සහ ජාත්‍යන්තර සංවිධානවල වැදගත් ඇගයීම් දර්ශකයක් ලෙස භාවිත කෙරේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මෙම උසස්වීම හුදෙක් සංඛ්‍යාලේඛනමය වෙනසක් පමණක් නොවේ. එයින් රටේ ආර්ථික තත්ත්වය යහපත් වෙමින් පවතින බවට වන සංඥාවක් නිකුත් කරන අතර, ජාත්‍යන්තර වශයෙන් රට දෙස බලන ආකාරය සහ ඇතැම් සංවර්ධන සහනාධාර මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලීන් කෙරෙහි ද මෙයින් බලපෑමක් ඇති විය හැකි ය. මෙය ඉතා ධනාත්මක සන්ධිස්ථානයක් වුවද, ලෝක බැංකුව සහ අනෙකුත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් තවමත් විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවයි. දිළිඳුකම තවදුරටත් රට තුළ ප්‍රධාන ගැටලුවක්ව පවතින අතර, ගෘහස්ථ ආදායම් සහ රැකියා නියුක්තිය මෙතෙක් සෑම ප්‍රදේශයකම අර්බුදයට පෙර පැවති මට්ටමට සම්පූර්ණයෙන්ම ළඟා වී නොමැත. එබැවින්, සියලුම පුරවැසියන්ට මෙහි ප්‍රතිලාභ ලැබෙන පරිදි පොදු සහ සහභාගිත්ව ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක නිරත විය යුතුය.

ශ්‍රී ලංකාව නැවත වතාවක් ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වීමෙන් පැහැදිලි වන්නේ කුමක් ද...?

ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුව හඳුන්වා දී ඇති නව රටවල් හවුල්කාරිත්ව රාමුව (Country Partnership Framework 2026-2030) මගින් පුද්ගලික අංශයේ සංවර්ධනය, නව රැකියා උත්පාදනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හරහා මධ්‍යකාලීනව ලංකාවේ ආර්ථිකය 7% ක පමණ වර්ධන වේගයක් කරා රැගෙන යාමේ ඉලක්කයට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව නැවත වතාවක් ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වීමෙන් පැහැදිලි වන්නේ ලාංකීය ජනතාව සතු නොසැලෙන ශක්තිය සහ අධිෂ්ඨානයයි. මෙම ලබාගත් ප්‍රගතිය තවදුරටත් ඉදිරියට පවත්වා ගනිමින් දිගුකාලීන සමෘද්ධිය ළඟා කර ගැනීමට නම්, ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම, සංචාරක හා කර්මාන්ත වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල ආයෝජන ඉහළ නැංවීම මෙන්ම සෑම පාර්ශ්වයක්ම ඇතුළත් කරගන්නා සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

ඉදිරි වසරවලදී වඩාත් ස්ථාවර සහ වර්ධනය වන ආර්ථිකයක් ගොඩනැගීමට වෙහෙසෙන ශ්‍රී ලංකාවට, මෙම ජයග්‍රහණය නව බලාපොරොත්තුවක් එක්කර තිබේ.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න