Image

රාජදුරෙයි සංශෝධනය, සූරසේන සංශෝධනය සහ අනුරතුමා කෙළවාගන්නා තැන

රාජදුරෙයි සංශෝධනය, සූරසේන සංශෝධනය සහ අනුරතුමා කෙළවාගන්නා තැන

අනුරතුමා තමන්ට අවනත අග්‍රවිනිශ්චයකරුව තව දුරටත් තබා ගැනීම සඳහා විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට යයි. එය ඔහුට ම පාරාවළල්ලක් වනු ඇත. මට මතක් වූයේ පහත සඳහන් කියමනය;

".. අවුරුදු බොහෝ ගණනක් තුළ සෑම ඇමතිවරයෙක් ම තම පෞද්ගලික චරිතය කෙබඳු විය හැකි වුවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එවකට පාර්ලිමේන්තුව පවත්වාගෙන යා හැකිව තිබූ එකම ක්‍රමයට කෙසේ හෝ එය පවත්වා ගෙන යෑමට අනුමැතිය පළ කළේය. සවිස්තරව කිව හොත් ස්මිත්ෆීල්ඩ් හි ගවයන් සඳහා වෙළඳ පොළක් පැවති පරිද්දෙන් ම භාණ්ඩාගාරයෙහි ඡන්දය ලබා ගැනීම සඳහා වෙළඳ පොළක් පැවති බව කුප්‍රකට රහසක් බවට පත් විය. බලයෙන් පහ වූ අය නොහොත් ගෝසාබද්දෝ මේ නීච වෙළඳාම පිළිකෙව් කළහ. එහෙත් ඒ ගෝසාබද්දන් හැම එකෙකුට ම තමා බලයට පැමිණි වහාම කිසි යම් වර්ගයක ඉරණමකට අනුව තමා ම ද ඒ වෙළඳාමේ නිරත වීමට ඇද දමනු ලැබ ඇති බව දැක ගත හැකි විය. නැති නම් ඔවූහු අඩු තරමින් ඒ වගක් නොදන්න්නා සේ සිටියෝ ය."

"අධිකරණයේ විනිශ්චයකාරවරු හතරදෙනාම විනිශ්චායාසනයෙහි උන්හ. රයිට්... අන් බොහෝ දක්‍ෂ වූ ද උගත් වූ ද අයගේ හිස්වලට ඉහළින් ඔහු මේ උසස් තැනට තැනට ඔසවා තබන ලද්දේ තනිකරම ඔහුගේ ප්‍රතිපත්ති විරහිත දීනකම නිසාය. ඇලිබෝන් පාප්වාදියෙක් විය. ඔහු ගේ තත්ත්වයට හේතුවූයේ එසේ බෙදා දෙන ලද බලය යි. එහි නීත්‍යනුකූලභාවය දැන් ප්‍රශ්ණයට බඳුන් වී තිබේ. හොලවේ අතීතයේ පටන්ම ආණ්ඩුවේ සේවයට යොදා ගත හැකි උපකරණයක් විය. අවංකකමින් යුතු චරිතයක් ඇත්තෙකු හැටියට කැපී පෙනිණු පවෙල් පවා ආරක්‍ෂා කිරීමට අසීරු වූ සමහර නඩු විභාගවල වගකීම් කොටස් ඉසිලීය. ...ආණ්ඩුවට එහි නීති නිලධරයින්ගෙන් කෙතරම් නින්දිත හා අශෝභන සේවාවන් අවශ්‍ය වී තිබුණේද යත් ටෝරි පක්‍ෂයේ සිටි දක්‍ෂ ජූරි සභිකයින් ද නීතිවේදීන් ද යටත් වීම ප්‍රතික්‍ෂ්පකිරීම නිසා එකෙනෙකුට පසු ව තවකෙකු ලෙස රැකියාවෙන් නෙරපා දමනු ලැබ තිබුණි"

 

'Sri Lanka: The arrogance of power: myths, decadence & murder'  කෘතිය

ඉහත මා උපුටා දැක්වූයේ මා මිත්‍ර රාජන් හූල් විසින් ලියන ලද Sri Lanka: The arrogance of power: myths, decadence & murder. නම් පොතේ උපුටනයකි. ඔහු එය උපුටා දක්වා ඇත්තේ මැකෝලේ සාමි ලියූ The History of England" (එංගලන්ත ඉතිහාසය 1660) නම් කෘතියෙනි. [මා මෙය කීපවරක් උපුටා දක්වා ලියා ඇත.]

 

image c8f198d1ceඇන්. ඇම්. පෙරේරා 

ඒ වගේම ආචාර්ය එන්. එම්. පෙරේරා ලියූ ජේ ආර් ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාව ගැන "විවේචනාත්මක විශ්ලේෂණයක්" පොතේ 109වන පිටුවේ ව්‍යවස්ථාවට ගෙනා දෙවෙනි සංශෝධනය ගැන දීර්ඝ විග්‍රයක් කර ඇත. ඒ සංශෝධනය කළේ පක්‍ෂ මාරු කරන අයට එක්සත් ජාතික පක්‍ෂයට බැඳීමට ඉඩ දීමටය. ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ එක්සත් පෙරමුණේ මන්ත්‍රී රාජදුරෙයිට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රී සමරනායකට එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සඳහා ය. ඒ ව්‍යවස්ථා සංශෝධනය බල පැවත්වෙන්නේ තුනෙන් දෙකක බලයක් තිබූ ජේ ආර් ගේ පළමු පාර්ලිමේන්තු කාලය තුළ පමණි. ඉන්පසු ඒ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වේ.

XyF6K2LVIPvsPqT6 Article Coverකොල්වින් ආර්. ද සිල්වා

එන්. එම්. මේ කොටස නැවත පොතට එකතු කර මිය ගියත්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මේ දෙවෙනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්වූයේ "රාජදුරෙයි සංශෝධනය" ලෙස ය. ඒ එය පුද්ගලික ආත්මාර්ථකාමී වුවමනාවට කරන ව්‍යවස්ථාවක් සංශෝධනයක් වූ බැවිණි. කොල්වින් ගේ ඒ හාස්‍ය මුසු කරමින් කරන ලද එහෙත් දෘඩතර කථා මා අසා ඇත. එබැවින් අනුර ගෙන එන්නට හදන මේ ව්‍යවස්ථා සංශෝධනය මම නම් කරනුයේ "සූරසේන සංශෝධනය" ලෙසිනි.

 

අනුරතුමාට කෙළවෙන තැන

අනුරතුමාට තමන්ට අවනත සූරසේන සහ තවත් කීපදෙනෙකු තබා ගැනීම සඳහා කරමින් සිටින බල සඳහා වන මේ ආත්මාර්ථකාමී වැඩෙන් සිදුවන දේ ගැන අදහසක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු හතරක් සහ අභියායචනයේ පුරප්පාඩු හතරකි. මේවා පිරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගනුයේ බලය පවත්වාගෙන ඉහළම අධිකරණ හීලෑ කර ගැනීම උදෙසාය. (ඒ පුරප්පාඩු නොපිරවීමට ජනාධිපති කියන හේතු මේ නීති රීති ගැන දැනුමක් ඇති කවුරුවත් පිළිගන්නේ නැත.) නමුත් එයින් වන්නේ උසස් වීම් බලාපොරොත්තුවෙන් ඉන්නා අනෙකුත් පහළ විනිසුරුවරුන් ආණ්ඩුව එක්ක තරහ වීමය. අධිකරණ විනිසුරු සේවයට නීතීඥයෙකු බැඳෙනුයේ විශාල කැපකිරීමක් කර ය. ඒ අය විනිසුරුවරුන්/වරියන් ලෙස අධිකරණ සේවයට එක් නොවී උසාවියේ නඩුවලට පෙනී සිට හම්බු කරන්නත් හැකියාවක් තිබිය දී ය. එක කන්සල්ටේෂන් එකක් කළත් දවසට ලක්‍ෂ කීපයක් සොයාගත හැකි ය. විනිසුරු පදවිය දරන පුද්ගලයාට සමාජයේ හඬක් නැත. ඒ අයගේ දුක්ගැනිවිලි සමාජයට කීමට නොහැකි ය. ඒ අයගේ දුක වේදනාව මට ඇසේ; ඇහන්නට සලසා ඇත. ඒ ගැනත් හිතල, ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේ නවත්තන්න අනුරතුමා!

 

515507954 10162556566299818 6952129714949267085 n

 

 

 

 

 

ලියන ලද්දෙ Uvindu Kurukulasuriya විසිනි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න