තැපෑල නව්‍යකරණයට නව පනතක් !

තැපෑල නව්‍යකරණයට නව පනතක් !

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  අනාවරණය කළේය.

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩිජිටල් කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ලාභ ලබන පරිසරයක් තැපෑල තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත්, 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසීය.

දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බව ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මෙසේ ද පැවසීය.

මේ රටේ තිබෙන පැරැණිතම දෙපාර්තමේන්තුවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ දැනටත් පවතින්නේ රැජිනගේ කාලයේ ගෙනා ආඥා පනතක්. එය තවමත් සංශෝධනය වී තිබෙන්නේ එක් වරක් පමණයි. එය තැලෑප නව්‍යකරණයට විශාල බාධාවක්ව පවතිනවා. එය වෙනස් කිරීම මඟින් අදායම් වැඩි කර ගැනීමට අප බලාපොරොත්තු වනවා.

තැපෑලේ සමස්ත සේවකයන් 27,000ක් පමණ සිටින අතර, තැපෑල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3342, නියෝජ්‍ය තැපැල් කාර්යාල 140කින් සමන්විතයි. මෙපමණ ජාලගත තැපෑලක් අපට තිබුණත් ගිය වසරේ අලාභය රුපියල් මිලියන 7000ක් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අමාත්‍යාංශය මට භාරදුන් පසු මෙම තැපෑල ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ගෙන යන වැඩපිළවෙළ නිසා මේ වසරේ තැපෑලේ අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තත්ත්වය, 2024 වසර වන විට ආදායම වියදම අතර පරතරය සමපාත කිරීමට සැලසුම් කර තිබෙනවා. 2025දී තවදුරටත් භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තැපෑලක් බිහි කිරීම අපේ අරමුණයි.

තැපෑල ඩිජිටල්කරණයෙන් නව අදායම් උත්පාදන මාර්ග ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. දැනට මුද්දර අලෙවියෙන් රුපියල් මිලියන 4000ක් උපයන අතර, තැපැල් මුද්‍රා තැබීමෙන් රුපියල් මිලියන 668ක් ඉපයීමට සමත්ව තිබෙනවා. ලිපි හා භාණ්ඩ හුවමාරුවෙන් රුපියල් මිලියන 131ක් හා කෑෂ් ඔන් ඩිලිවරි සේවාව මඟින් රුපියල් මිලියන 200ක අදායමක් උපයා ගැනීමට තැපෑල සමත්ව තිබෙනවා.

ඒ වගේම ඉදිරියේදී කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමය තවත් ප්‍රචලිත කරමින් අදායම් තත්ත්වය ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා. විදේශ ගමන් බලපත්‍රය, විභාග ලේඛන, ඉඩම්, උප්පැන්න හා මරණ සහතික මෙන්ම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම හා බෙදාහැරීමෙ ක්‍රියාවලියට අනුගතවීමට තැපෑල් දෙපාර්තමේන්තුව සූදානම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ස්මාර්ට් තැපෑල නිර්මාණය කිරීමේදී දිගු කාලයක් පවතින සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සේවාවට යොදවා තිබූ පාපැදිය වෙනුවට ත්‍රීරෝද රථ 1000ක් දිවයින පුරා යෙදවීමටත් සැලසුම් කර තිබෙනවා.ඒ වගේම නිල ඇඳුම් ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා. මේ සියලු දේ සැලසුම් කර ශක්තිමත් තැපෑලක් නිර්මාණය කිරීම අපේ සැලසුමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න