Language Switcher

V2025

මහරගම අපේක්ෂා රෝහලේ තවත් ලෙඩක් !

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් නොකැඳවීම ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය අක්‍රීය වීමට වඩා බරපතල ගැටලුවක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විකිරණ ශිල්පීන්ගේ යම් ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සුමාන දෙකක සිට විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් කැඳවීම නවතා ඇති බවත් මේ වන විට විකිරණ ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනය රෝගීන් 250 ද ඉක්මවා ඇති බවත් වාර්තා වේ.

මේ අතර පසුගිය 06වනදා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 03ක් අක්‍රීය වීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ටද ප්‍රතිකාර ලබා දීමට නොහැකි වී ඇත. එම යන්ත්‍ර කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා අදාළ සමාගම කටයුතු නොකිරීම මෙම ගැටලුව තව දුරටත් උග්‍ර කර තිබේ.

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ විකිරණ ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවේ මෙන්ම අඛණ්ඩව ලබා නොදීමෙන් පිළිකා රෝග තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත් වන බවයි. විකිරණ ප්‍රතිකාර ලබා දීමට හදිසි මෙන්ම අත්‍යවශ්‍ය රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් විකිරණ ශිල්පීන් ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අසරණ පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයකට ලක්ව සිටින බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.