Language Switcher

V2025

අලුත් ආගමික ස්ථාන ගැන ජවිපෙ බිමල්ගෙන් යෝජනාවක් !

අලුතින් ආගමික ස්ථාන ඉදිකිරීමේදී පොදු මාර්ගෝපදේශ පද්ධතියක් ආගමික නායකත්වය යටතේ ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.

ජනතාව කල්පනාවෙන් සිටිය යුතු අතර අනාථ වූ පාලකයන් එල්ලෙන්න හදන අන්තිම පිදුරු ගහ අන්තවාදය යැයි ද ඔහු පැවසීය.

“උතුරු පළාතෙන් බැහැරව ත්‍රිකුණාමලය ආසන්නයේත් හින්දු සහ කිතුනු ජන කණ්ඩායම් අතර ගැටලු මතුවී තිබෙනවා. සමස්තයක් ලෙස මේ සිදුවීම් දෙස බලද්දී පැහැදිලි වෙන්නේ මින් කිහිපයක් වසර දෙකක් හෝ ආසන්න කාලයක අතීතයට අයත් වුණත් අති බහුතරයක් මෑතක මාස කිහිපය තුළ ඇති වී වර්ධනය වෙමින් තිබෙන බව යි. එකට එක කිරීම් ලෙස තරමක් වේගයෙන් වර්ධනය වීමක් පවතිනවා. බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාමීය ආගමික කණ්ඩායම් හතර ම කුමන ආකාරයක හෝ ප්‍රතිවිරෝධතාවන්ට පත්ව සිටිනවා. මේ ප්‍රදේශවල පෞරාණික ඉතිහාසයක් සහිත බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික වගේම ඉස්ලාමීය සිද්ධස්ථාන පවතිනවා. ගැටලු එකක් පමණක් හැරුණු විට අනිත් සියලු ගැටලු පවතින්නේ නව සිද්ධස්ථාන ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යාමට හෝ අලුතින් හඳුනාගැනීම මූලික කරගෙන යි. එහෙම ඇති වෙන ගැටලු මූලික ගැටුම් බවට පත්වුණු අවස්ථා තිබෙනවා.

ජාතිකත්වයන් අතර පවතින වෙනස්කම්, ගැටලු සහ ගැටුම් බවට පත්වී යුද්ධයක් දක්වා වර්ධනය වී සිදුවුණු විනාශයන් අපි දැක්කා. දැන් මතුවෙමින් තිබෙන්නේ ජාතිකත්ව ස්වරූපයට වඩා වෙනස්ව ආගමික ගැටුම් බවට වර්ධනය වීමක්. කෙටි කාලයක් තුළ ඇති වන වර්ධනය දකින විට අපට බරපතළ සැකයක් මතුවෙනවා. මේ කරුණු ජනතාව ඉදිරියේ හෙළිකිරීම ජනතා විමුක්ති පෙරමුණේ අප සතු වගකීමක්. පොදුවේ අපේ රටේ ජාතිවාදී සහ ආගම්වාදී මතයන් ජනතාව තුළ තැන්පත්ව තිබෙනවා. බහුතර ජන කණ්ඩායමක් සමඟ සංස්කෘතිකමය වශයෙන් වෙනස් කුඩා ජන කණ්ඩායමක් සිටිනවා නම් ඒ කුඩා කණ්ඩායමට යම් බලපෑම් පවතින බව අපි දකිනවා. සමහර තැන්වලදී ඒ කුඩා ජන කොටස්වලට පීඩාවන් ඇති කරනවා.

මෑතදී සිදුවූ සිදුවීම් දෙස බැලූවිට අපට පෙනෙන්නේ එකම ආගමික කොටස්වල පූජකයන් අතර තිබෙන්නා වූ තරගකාරිත්වය විසින් මේ අයුරින් ගැටලු ඇති කර ඇති බවයි. ඒවා ගැටුම් බවට පත්කර පූජකයන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගන්නා බවකුත් අපි දකිනවා. ඒ වගේම උතුරු පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ අතර පවතින බල අරගලය තුළින් මේ ගැටුම් නිශ්චිත වශයෙන් ම ඇති කරලා ඒ චෝදනාව වෙන කණ්ඩායමකට බැර කරන බවක් පැහැදිලි වී තිබෙනවා. හින්දු පුවත්පත්, වාර්තා කර තිබෙන අන්දමට, ඉන්දියාවටත් සම්බන්ධ ආගමික අන්තවාදී සංවිධාන ලංකාව තුළ කාර්යාල ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවට සම්බන්ධ ඒ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම නිසාත් උතුරු පළාතේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පිරිස්වලට බලපෑම් කරන හින්දු අන්තවාදී කණ්ඩායම් පිළිබඳව සඳහන් වෙනවා. ආගමික, සංස්කෘතික සහ ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට පවතින පොදු හැඟීම විසිනුත් මේ ගැටලුව වර්ධනයක් වී තිබෙනවා.”